කොමර්ෂල් බැංකුවේ ශ‍්‍රී ලංකා සහ බංග්ලාදේශ මෙහෙයුම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සම්මානවලින් පිදුම් ලබයි

    June, 19, 2020

    2020 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම වාණිජ බැංකුවසහ බංග්ලාදේශය තුළ හොඳම විදේශ බැංකුවයන සම්මාන හිමිකර ගනී

    මෙම වසරේ හිමි කරගත් ජාත්‍යන්තර සම්මාන පෙළ තවත් ශක්තිමත් කර ගනිමින් කොමර්ෂල් බැංකුව පසුගියදා එංගලන්තය පදනම් කරගත් Global Business Outlook (GBO)   සඟරාව වෙතින් 2020 වසරේ ශ‍්‍රී ලංකාවේ ‘හොඳම වාණිජ බැංකුව’ සහ බංග්ලාදේශය තුළ ‘හොඳම විදේශ බැංකුව’ යන සම්මාන වලින් ද පිදුම් ලැබීය.

    Global Business Outlook සම්මාන ලොව වටා රාජ්‍ය සහ පුද්ගලික ව්‍යාපාරික ක්ෂේත‍්‍රය වෙනුවෙන් පිදෙන විශිෂ්ටතා සම්මාන ලෙස මහත් පිළිගැනීමට ලක්ව තිබේ. එහි අරමුණ වනුයේ ව්‍යාපාරයන්හී නවෝත්පාදන ශක්තිය, නිර්මාණශීලිත්වය සහ අගයන් වර්ධනය කිරීමය.

    මෙම සම්මාන සඳහා Global Business Outlook සඟරාව සුවිශේෂී විශිෂ්ටතා දක්වන, විශිෂ්ට අගයන් නිර්මාණය කරන සහ ක්ෂේත‍්‍රය තුළ කැපි පෙනෙන ආයතනවලට අයදුම් පත් යොමු කරන ලෙස ආරාධනා කරයි.

    බැංකුව වෙත කීර්තිමත් ‘ශ‍්‍රී ලංකාවේ හොඳම වාණිජ බැංකුව’ නමැති සම්මානය පිරිනමා ඇත්තේ ඇගයීමට ලක්වන වසර තුළ ප‍්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකවද බැංකුව විසින් දක්වනු ලැබූ මූල්‍ය කාර්ය සාධනය, ජාතික ආර්ථිකයට දක්වන ලද දායකත්වය, මූල්‍ය අන්තර්ගතයන් සහ ග‍්‍රාමීය සංවර්ධනය, භූගෝලීය ව්‍යාප්තිය, නව නිපැයුම්, ආයතනික සමාජ වගකීම්, නවෝත්පාදන සහ හිමි කරගත් සම්මාන සහ ගෞරවයන් ආදිය පදනම් කර ගෙනය.

    බංග්ලාදේශයේ කොමර්ෂල් බැංකුව විසින් හිමි කරගත් ‘හොඳම විදේශ බැංකුව’ සම්මානය පිරිනමා ඇත්තේ  නව ගිනුම්, තැන්පතු සහ අත්තිකාරම්වල සාර්ථක වර්ධනය, ආයතනික සහ පුද්ගලික අංශයේ ගනුදෙනුකරුවන් සඳහා සපයන ලද සේවාවන්, නව නිපැයුම් සහ වෙළඳපොල තුළ බැංකුවේ අන්තර්ජාල බැංකු සේවාවන් හි වර්ධනය ආදිය සැලකිල්ලට ගනිමින්ය.

    වසර 2019 අවසන් වන විට බංග්ලාදේශයේ කොමර්ෂල් බැංකුව තැන්පතුවල 28.79%, බදු ගෙවීමෙන් පසු ලාභයේ 20.62%, සහ නව ගිනුම්වල 5.71% ආදී වශයෙන් සාර්ථක වර්ධනයක් ලැබීමට සමත්ව සිටියේය. විශේෂයෙන්ම බැංකුවේ ආයතනික සමාජ වගකීම් දුප්පත් සිසුන් ඇතුළු සමාජයේ අඩු වරප‍්‍රසාදලාභී කාණ්ඩය කෙරෙහි යොමු කොට තිබිණ.

    කොමර්ෂල් බැංකුව Global Business Outlook සඟරාව විසින් සම්මානයට පාත‍්‍ර වූ තෙවැනි වතාව මෙය වේ.

    වසර 2015 ප‍්‍රථම සම්මාන ප‍්‍රදානය හඳුන්වා දීමෙන් පසු Global Business Outlook විසින් බැංකු, රක්ෂණ, සම්පත් කළමනාකරණය, වත්කම් කළමනාකරණය, තැරැව්කාර, තාක්ෂණ, දේපළ සහ ආගන්තුක සත්කාර සමාගම් පමණක් නොව විවිධ අංශවල ආයතන විශාල සංඛ්‍යාවක් ඉතා සාර්ථක ලෙස ඇගයීමට ලක් කොට තිබේ.

    ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම නව වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 865 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

    බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.