කොමර්ෂල් බැංකුව යුරෝමනි විශිෂ්ටතා සම්මාන දෙකක් දිනයි

    September, 25, 2025

    කොමර්ෂල් බැංකුව 2025 වසරේ යුරෝමනි විශිෂ්ටතා සම්මාන උළෙලේ දී කීර්තිමත් සම්මාන දෙකක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුව ලෙස සිය ස්ථානය නැවතත් තහවුරු කර ඇත.

    මූල්‍ය කාර්යසාධනය, ඩිජිටල්කරණ මුලපිරීම් සහ මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සවිබල ගැන්වීම වෙනුවෙන් සිදු කරන කාර්යභාරය අගයමින් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව මෙලෙස නම් කරන ලදී.

    යුරෝමනි විසින් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කිරීමේදී ඇගයීමට ලක් වූයේ ක්‍රමයෙන් යථාතත්වයට පත්වන ජාතික ආර්ථිකයක් පවතින පසුබිමක් තුළ සුවිශේෂී මූල්‍ය හා ඩිජිටල් කාර්යසාධනයක් ලබා දීමට බැංකුව සතු හැකියාවයි.

    මෙහිදී සඟරාව විසින් විශේෂයෙන් ම සඳහන් කලේ 2024 දී කොමර්ෂල් බැංකුව පෙර වසරේ වාර්තා වූ රුපියල් බිලියන 31.88 ක බදු ගෙවීමට පෙර ලාභය 2024 දී රුපියල් බිලියන 95.54 ක් දක්වා ආසන්න වශයෙන් 200% ක වර්ධනයක් අත්කර ගත් බවයි. බදු ගෙවීමෙන් පසු ලාභය 164% කින් වර්ධනය වී රුපියල් බිලියන 54.07 ක් දක්වා වර්ධනය වූ අතර බැංකුවේ මූල්‍ය කොටස් මත ප්‍රතිලාභ අනුපාතය 22.06% ක් දක්වා ඉහළ ගියේය. සමස්තයක් ලෙස මෙම කාර්යසාධනය තරඟකාරී බැංකුවල කාර්යසාධනය අභිභවයි.

    ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුවට සම්මාන පිරිනැමීමේ දී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය සඳහා මූල්‍ය විසඳුම් හඳුන්වා දීම සහ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් බැංකුවේ වූ ශක්තිමත් හා තිරසාර කැපවීම යුරෝමනි විසින් ඇගයීමට ලක් කර ඇත.

    මෙම මූල්‍ය විසඳුම් සැපයීමට අමතරව ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සමස්ත ලෝකය තුළ තමන්ගේ ව්‍යාපාර වර්ධනය කර ගැනීමට සහ වර්තමාන තරගකාරී වෙළෙඳපොළවලට මුහුණ දීමට අවශ්‍ය කරන ඩිජිටල් හා තාක්ෂණික දැනුම මෙන්ම අවකාශය ලබාදීම, සමාන අදහස් ඇති ව්‍යවසායක ප්‍රජාවට එකිනෙකා හමුවී ව්‍යාපාර වර්ධනය කර ගැනීමේ අවස්ථා සැපයීම සහ ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව දියුණු කිරීම වෙනුවෙන් බැංකුව දරන උත්සාහයද මෙහිදී විශේෂ ඇගයීමට ලක්විය.

    ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව මෙන්ම කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

    බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.