කොමර්ෂල් බැංකුව විසින් ශ‍්‍රී නාගරුක්කාරාම විහාරස්ථානයට ජල සහ සනීපාරක්ෂක පහසුකම් ප‍්‍රදානය කරයි

    July, 20, 2020

    අංගොඩ, කොටිකාවත්ත ප‍්‍රදේශයේ පිහිටි වසර 135 ක් පමණ පැරණි ශ‍්‍රී නාගරුක්කාරාම විහාරස්ථානයට කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා ජල සහ සනීපාරක්ෂක පහසුකම් ප‍්‍රදානය කරන ලදි. විහාරාධිපති ස්වාමීන්වහන්සේ විසින් සිදුකළ ඉල්ලීමක් පිළිගනිමින් බැංකුව විසින් මෙම පහසුකම් ප‍්‍රදානය කළ අතර මෙහිදී ලීටර් 20,000 ක ජලය රඳවා තබාගත හැකි අඩි 50 ක් උස ජල ටැංකි පද්ධතියක් සහ සනීපාරක්ෂක පහසුකම් බැංකුව විසින් මෙම විහාරස්ථානයේ ගොඩනගන ලදී.

    මේ පිළිබඳව අදහස් දක්වමින් විහාරාධිපති පූජ්‍ය බදුල්ලේ මහානාම ස්වාමීන්වහන්සේ පැවසුවේ මේ දක්වා රාත‍්‍රී කාලයට පමණක් ජල සැපයුම ලැබෙන මෙම විහාරස්ථානයේ ඉදිකළ මෙම පහසුකම් නිසා විහාරස්ථානයට පැමිණෙන බැතිමතුන්ට සහ අධ්‍යාපන කටයුතු සඳහා පැමිණෙන දරුවන්ට අපහසුවකින් තොරව මෙම පහසුකම් ලබාගැනීමට අවස්ථාව සැලසෙන බවයි. තායිලන්තයේ සිට වැඩමකළ අඩි 14 ක උසකින් යුතු රන් ආලේපිත බුද්ධ ප‍්‍රතිමාවක් මෙම පුරාණ විහාරයේ වැඩ වාසය කරන අතර විහාරස්ථානයට නිතර පැමිණෙන බැතිමතුන්ට අමතරව දරුවන් 1300 දෙනෙකු සහ ගුරුවරුන් 50 දෙනෙකු මෙම විහාරස්ථානයේ ඉරිදා දින දහම් පාසැලට පැමිණෙති. මීට අමතරව, මෙම විහාරස්ථානයේ නොමිලේ පවත්වන ඉංග‍්‍රීසි පන්ති සඳහා ප‍්‍රදේශයේ විවිධ ජාතීන් නියෝජනය කරන දරුවන් පැමිණේ.

    සේයාරුවෙන් දැක්වෙන්නේ කොමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතා, බැංකුවේ ආයතනික සමාජ වගකීම් භාරයේ නියෝජිතයින් සහ පූජ්‍ය බදුල්ලේ මහානාම ස්වාමීන් වහන්සේ ශ‍්‍රී නාගරුක්කාරාම විහාරස්ථානයට කොමර්ෂල් බැංකුව විසින් ප‍්‍රදානය කළ ජල සහ සනීපාරක්ෂක පහසුකම් සංකේතාත්මකව භාරදෙන අවස්ථාවට සහභාගී වූ ආකාරයයි.