February, 6, 2026
තම ගනුදෙනුකරුවන්ගේ ජීවන රටාවන් ඉහළ නැංවීම හා හොඳම ප්‍රවාහන විසඳුම් ලබා දීම සඳහා වන සිය කැපවීම තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ ඇත. එම සමාගමේ ප්‍රවාහන අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් විසින් වෙළඳපොළට හඳුන්වා දී ඇති නව බලශක්ති රථවාහනවල සම්පූර්ණ පරාසය ප්‍රවර්ධනය කිරීම සඳහා දිවයින පුරා සිටින ගනුදෙනුකරුවන්ට ආකර්ශනීය සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි ලීසිං විසඳුම් ලබා දීමේ බැංකුවේ උත්සාහයන් මේ හරහා ශක්තිමත් කර ඇත.
අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කරමින් 2026 නොවැම්බර් 30 වන දින දක්වා ක්‍රියාත්මක වන හවුල් ප්‍රවර්ධන ව්‍යාපාරයක් දියත් කරමින් මෙම සහයෝගීතාවය විධිමත් කරන ලදී.
මෙම වැඩසටහන මගින් ගනුදෙනුකරුවන්ට කොමර්ෂල් බැංකුවේ දිවයින පුරා පිහිටි ශාඛා ජාලය ඔස්සේ තම රථවාහන මිලදී ගැනීම් සඳහා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර හිමිකාරිත්වයේ පිරිවැය අවම කර ගැනීම සඳහා නිර්මාණය කර ඇති විශේෂ ප්‍රතිලාභ මාලාවක් මේ අතර වේ.
ඔවුනට තරඟකාරී පොලී අනුපාත, ලියකියවිලි ගාස්තු සඳහා සහන සහ නොමිලේ පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් ක්‍රෙඩිට් කාඩ්පතක් ලබා දෙන බව බැංකුව පවසයි. ප්‍රායෝගිකව දැරිය හැකි මිල ගණන් කෙරෙහි යොමු කරමින් ගනුදෙනුකරුවන්ට තම ආදායම් රටාවන්ට ගැලපෙන පරිදි ආපසු ගෙවීමේ සැලසුම් සකස් කර ගැනීමේ නම්‍යශීලීභාවය සඳහා ද බැංකුවේ අවධානය යොමු කර ඇත.
හේලීස් මොබිලිටි සමාගම මෙම ප්‍රතිලාභ සම්පූර්ණ කිරීම සඳහා සම්පූර්ණ නිෂ්පාදක වගකීම, සහතික කළ අලෙවියෙන් පසු සේවය, විශ්වාසනීය අමතර කොටස් සහ 0112 222 222 යන නිල ක්ෂණික ඇමතුම් අංකය හරහා 24/7 පුරා සහාය ලබා දෙනු ඇත. විශ්වාසනීයත්වය හා තිරසාරභාවය සඳහා වන කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් හේලීස් මොබිලිටි සමාගමට විද්‍යුත් ආරෝපණ විසඳුම් යටිතල පහසුකම් සහ ක්ෂුද්‍ර ජාල විසඳුම් සැපයීමේ ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන StarCharge සමඟ පවතින හවුල්කාරිත්වය හරහා විශ්වාසදායක විද්‍යුත් ආරෝපණ විසඳුම් වෙත ද ප්‍රවේශය පුළුල් කරයි.
හේලීස් මොබිලිටි හඳුන්වා දුන් නවතම වාහන පෙළෙහි, මගී වාහන අංශයේ වේගයෙන්ම වර්ධනය වන නව බලශක්ති රථවාහන (NEV) සන්නාමය වන OJ (Omoda & Jaecoo) ඇතුළත් වන අතර මෙම මාදිලිය Chery ඔටෝමොබයිල් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලැබේ. නවතම එකතු කිරීම් වන ජේකූ J7 PHEV, J6,J8 සහ ඔමෝඩා E5, මාදිලි පාරිභෝගිකයින්ට විවිධ ජීවන රටාවන් සහ රිය පැදවීමේ මනාපයන් සපුරාලමින් සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාත්මක ප්ලග්-ඉන් හයිබි්‍රඩ් සහ අභ්‍යන්තර දහන එන්ජින් සහිත SUV රථ තෝරා ගැනීමට අවස්ථාව ලබා දෙයි.
හේලීස් මොබිලිටි සමාගම චීනයේ සුප්‍රසිද්ධ ෂයිනේරේ මෝටර්ස් හි වාණිජ වාහන සන්නාමයක් වන SRM සමඟ සැහැල්ලු වාණිජ විදුලි වාහනයක් වන SRM T3 EV, ආසන නවයක මගී වෑන් රථයක් වන X30L EV සහ විශාල භාණ්ඩ ප්‍රවාහන වෑන් රථයක් වන X3OL EV Cargo ඉදිරිපත් කරයි. මෙම සන්නාමය ද වේගයෙන් වර්ධනය වන නව බලශක්ති නාගරික සැපයුම් වාහනවල විශිෂ්ටත්වය දක්වන චීන මෝටර් රථ සමාගමක් නියෝජනය කරනු ලබයි.
ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, ලොව හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා සහ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.
සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකුකරණය කපිල ලියනගේ මහතා සහ හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන මූල්‍ය නිලධාරී පමුදිත් ගුණවර්ධන මහතා සමාගම් දෙකෙහි නියෝජිතයින් ඉදිරියේ ගිවිසුම හුවමාරු කර ගනී.
Video Story