කොමර්ෂල් බැංකු සභාපති ඉවත් කිරීමට කොටස්කරුවන් විරුද්ධ වෙයි. නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවත් දැනුම් දෙයි

    April, 1, 2015

    කොමර්ෂල් බැංකුවේ සභාපති තනතුරෙන් ධර්ම ධීරසිංහ මහතාට ඉල්ලා අස්වන්නැයි රජය විසින් කර තිබෙන දැනුම්දීමේ ලිපිය ඉල්ලා අස්කර ගන්නා ලෙසත් එසේ නොමැති නම් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් සඳහන් කරමින් කොමර්ෂල් බැංකුවේ වෘත්තීය සමිති දෙකක් එක්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලිපියක් මගින් දැනුම් දී ඇතැයි ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අප වෙත අනාවරණය වේ.

    පුද්ගලික වාණිජ බැංකුවල තිබෙන රජයේ කොටස් අයිතිය නියෝජනය කරමින් පසුගිය රජය සමයේදී ප්‍රධාන පත්වීම් ලබා තිබුණු කිහිප දෙනෙකුටම ඉල්ලා අස්වන්නැයි මුදල් අමාත්‍යංශය විසින් පසුගියදා ලිපි මගින් දැනුම් දී තිබුණු නිසා හැටන් නැෂනල් බැංකුවේ සභාපති ධූරය දැරූ ආචාර්ය රාණි ජයමහ මහත්මියත්, ජාතික සංවර්ධන බැංකුවේ සභාපති ධූරය දැරූ සුනිල් විජේසිංහ මහතාත් අදාළ තනතුරු වලින් පසුගියදා ඉවත් විය.

    කොමර්ෂල් බැංකුවේ සභාපති ධූරය සඳහා නිතීඥ නිශ්ශංක නානායක්කාර මහතාව නව රජය විසින් යෝජනා කර තිබුණත් ඊයේ පැවති කොමර්ෂල් බැංකුවේ වාර්ෂික මහ සභා රැස්වීමේදී (AGM) බැංකුවේ කොටස්කරුවන් විසින් වත්මන් සභාපතිවරයාව ඉවත් කිරීමට විරෝධය දැක්වීම නිසා නව පත්කිරීම සිදුකර නොමැත.

    කොටස් කරුවන් අවධාරණය කර තිබෙන්නේ පුද්ගලික වාණිජ බැංකුවක ඉහළ තනතුරු වෙනස් කිරීමට මහ බැංකුවට හෝ රජයට කිසිදු අයිතියක් නොමැති බවයි.

    අප වෙත අනාවරණය වන ආකාරයට කොමර්ෂල් බැංකුවේ වෘත්තීය සමිති දෙකක් විසින් ධර්ම ධීරසිංහ මහතාට සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන්නැයි එවා තිබෙන ලිපිය ඉවත් කර ගන්නා ලෙසත් නොමැති නම් අධිකරණ ක්‍රියා මාර්ගයක් ගන්නා බවත් සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලිපියක් මගින් දැනුම් ඇත.

    මධ්‍යස්ථ විචාරකයින් සඳහන් කරන්නේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ඥාතියෙකු වන බන්සා ජයා මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ඉහළ තනතුරකටත් මුදල් අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන එස්. රහ්මාන් මහතා ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ අධ්‍යක්ෂ තනතුරකටත් පත්කර තිබෙන බවයි.

    සේයාරුවේ සිටින්නේ ධර්ම ධීරසිංහ මහතායි.