කොරියානු එක්සිම් බැංකුවේ නියෝජිත ආයතනයක් ලංකාවේ විවෘත වේ

    January, 20, 2016

    කොරියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර ඇති කර ගත් එකඟතවක් මත කොරියානු එක්සිම් බැංකුවේ නියෝජිත ආයතනයක් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) කොළඹ දී විවෘත විය.

    ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන් රැසක් සඳහා ආධාර සහ ණය පහසුකම් ලබා දෙන කොරියානු එක්සිම් බැංකුව ඉදිරියේදී දෙරට අතර ආනයන අපනයන අවස්ථා පුළුල් කිරීම සඳහා අවශ්‍ය මුල්‍ය පහසුකම් සැපයීමට සුදානම්ව සිටී.

    තාක්‍ෂණික, වාරිමාර්ග, යටිතල පහසුකම් සංවර්ධනය, කුඩා සහ මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ප්‍රවර්ධනය ඇතුළු ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යාපෘති රැසක් සඳහා දායකවීම ද මෙහි තවත් අරමුණකි.

    මෙම අවස්ථාවට කොරියානු එක්සිම් බැංකුවේ සභාපති ලී ඩක් හූන් (lee duk – hoon) මහතා ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වොන් සෑම් චෑන්ග් මහතා (Won-sam Chang) ඇතුළු නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලේකම් එම්.අයි.එම් රෆීක් මහතා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්. එච්. එස්. සමරතුංග මහතා සහ නගර සැලසුම් සහ ජලසම්පාදන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (තාක්ෂණ) එල්. මංගලිකා මහත්මිය ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.