කොවිඩ් වසංගතය අතරතුර, යුරෝපා සංගමය මෙරට කුඩා දරුවන්ගේ චිත්‍රකලා හැකියාව අගයයි

    May, 8, 2020

    ‘වර්ණවත් ජීවිතය’ නමින් කොවිඩ්-19 ඇසුරු කරගත් චිත්‍ර තරගයක් හඳුන්වාදෙයි

    කොවිඩ්-19 වසංගතයට මුහුණ දෙමින්, කුඩා දරුවන් වෙනස් වූ ජීවන රටාවකට හැඩගැසීමට දරන උත්සාහය අවබෝධ කරගැනීමට, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ චිත්‍ර නිර්මාණයට උනන්දු කුඩා දරුවන් සහභාගී කරවාගනිමින් විශේෂ චිත්‍ර තරගයක් පැවැත්වීමට ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ යුරෝපා සංගම් දූත මණ්ඩල කාර්යාලය පියවර ගෙන තිබේ.

    අනපේක්ෂිත වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට පාසල් වසාදමා ඇති අතර, සමාජ දුරස්ථභාවය හේතුවෙන් කුඩා දරුවන්ට තම නිවසට ම සීමා වී කාලය ගතකිරීමට සිදුව තිබේ. එවන් අවස්ථාවක දරුවන්ට ආරක්ෂිත හා නිරෝගීමත් අයුරින් තම හැඟීම් ප්‍රකාශ කළ හැකි නිර්මාණාත්මක ක්‍රියාකාරකමක් ලෙස චිත්‍ර නිර්මාණය හැඳින්විය හැක.

    ‘වර්ණවත් ජීවිතය’ (Life in Colour) යන මාතෘකාව යටතේ පැවැත්වෙන මෙම චිත්‍ර තරගාවලියට වයස අවුුරුදු 15 හා ඊට අඩු වයස් කාණ්ඩවල දරුවන්ට සහභාගී විය හැක. වර්තමානයේ ඔවුන් මුහුණ දෙන අත්දැකීම් ඇසුරින් උපදින හැඟීම් හා ප්‍රකාශන මෙම චිත්‍ර හරහා එළිදැක්වීම අපේක්ෂා කෙරේ.
    “දේශීය ප්‍රජාවට සහාය වීම අපගේ මූලික අරමුණක්. එනිසා ‘වර්ණවත් ජීවිතය’ චිත්‍ර තරගාවලිය පිළිබඳ අපි නිවේදනය කරන්නේ මහත් සතුටින්” යනුවෙන් යුරෝපා සංගම් දූත මණ්ඩලයේ සංවර්ධසහයෝගීතා අංශ ප්‍රධානී ෆ්‍රෑන්ක් හෙස් මහතා පැවසීය. “ගෙවුණු සති කිහිපය දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට කොයිතරම් දුෂ්කර වූවා ද වගේම, ඉදිරිසති කිහිපය කොතරම් අභියෝගාත්මක ද යන්න අපට හොඳින් වැටහෙනවා. එනිසා මෙම අවිනිශ්චිත කාලයේදී ළමුන්ට සහ ඔවුන්ගේ නව ජීවන රටාවට යම් විනෝදයක් සහ සුබදායී බවක් එක්කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. චිත්‍ර කලාව කියන්නේ සංකේතාත්මක භාෂාවක්. එනිසා මෙම තරගාවලිය ඔවුන්ට තම හැඟීම් ප්‍රකාශ කිරීමට උපකාරයක් වනු ඇති බව අපට විශ්වාසයි. ඒ වගේම මෙම තරගයට ඉතා උනන්දුවෙන් සහභාගී වන ලෙස ඔවුන් දිරිමත් කිරීමටත් කැමතියි” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

    මෙම තරගාවලියට එක්වීම සඳහා කළ යුත්තේ සරල දෙයකි. වයස අවුරුදු 15 හෝ ඊට අඩු ළමුන්ට මෙම තරගාවලියට සහභාගී විය හැකි අතර එක් දරුවෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් චිත්‍රයක් පමණි. චිත්‍රය නිර්මාණය කර අවසන් වීමෙන් පසු එය පැහැදිලිව පෙනෙන ඡායාරූපයක් ගෙන, 2020 මැයි 25 දිනට පෙර euinsrilanka@gmail.com යන විද්‍යුත් ලිපිනයට ඊමේල් කළ යුතුය. එම ඡායාරූපයේ ධාරිතාව මෙගා බයිට් 25 නොඉක්මවිය යුතු අතර දරුවාගේ නම, වයස හා සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් ද ඒ සමඟ එවිය යුතුය.

    ජයග්‍රාහකයින් තේරීමේදී වයස අවුරුදු 6 දක්වා, අවුරුදු 7-11 දක්වා සහ අවුරුදු 12-15 දක්වා වශයෙන් කාණ්ඩ තුනක් යටතේ එක් ජයග්‍රාහකයෙකු බැගින් තෝරාගැනේ. සියලු ජයග්‍රාහකයින්ට චිත්‍ර ඇඳීමට භාවිත කරන ආකර්ෂණීය උපකරණ කට්ටල ත්‍යාග වශයෙන් පිරිනැමේ. එමෙන්ම තෝරාගන්නා ලද චිත්‍ර යුරෝපා සංගම් දූත මණ්ඩල නිල ෆේස්බුක් පිටුවේ (https://www.facebook.com/EUDel.Srilanka.Maldives) ප්‍රදර්ශනය කෙරෙනු ඇත. එම ෆේස්බුක් පිටුව සහ https://eeas.europa.eu/delegations/sri-lanka_en යන ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ යුරෝපා සංගම් දූත මණ්ඩල නිල වෙබ් අඩවිය හරහා වැඩිදුර විස්තර ලබාගත හැක.