කොවුල්ආරගම සමූපකාර සමිතිය තම පළමු සෙරමික් ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

    June, 30, 2017

    ධෛර්යමත් කාන්තාවන් පිරිසකගෙන් සැදුම්ලත් කොවුල්ආරගම කර්මාන්ත සමූපකාර සමිතිය තම මැටි භාණ්ඩ නිෂ්පාදනාගාරයේ වැඩකටයුතු තවදුරටත් ඉහළට ඔසවා තබමින් ඒ සමීපයේම නව ප්‍රදර්ශනාගාරයක් විවෘත කිරීමට පසුගියදා පියවර ගත්තේය. උඩවලව ජාතික වනෝද්‍යාන මායිමේ පිහිටා ඇති කොවුල්ආරගමට එම නම ලැබී ඇත්තේ ද උඩවලට වනෝද්‍යානය හේතුකොටගෙන ය. විශිෂ්ට නිමාවකින් යුත් මැටි භාණ්ඩ නිෂ්පාදන හරහා තමන්ගේ ගම්මානය හා අවට පමණක් නොව රටේ සෙසු ජනතාවවෙත මෙන්ම විදෙස් සංචාරකයින් කරා ද සමීප වීමට ඔවුන්ට අවස්ථාව උදාවී තිබේ.

    කොවුල්ආරගම යනු මෙරට දිළිඳුම ජනතාව වාසය කරන ‍මොනරාගල දිස්ත්‍රික්කයට අයත් කුඩා ගම්මානයකි. බහුතර කාන්තාවන්ගෙන් සැදුම්ලත් කොවුල්ආරගම කර්මාන්ත සමූපකාර සමිතිය 2004 වසරේදී පිහිටුවාගැනෙන්නේ, කුසලතා වැඩිදියුණු කිරීම හා ආදායම් වර්ධනය තුළින් ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීමේ පියවරක් ලෙසිනි. ශ්‍රියානි සුබසිංහ මහත්මියගේ සභාපතීත්වය යටතේ වර්තමානයේ මෙහෙයවෙන මෙම සමිතියේ සුවිශේෂී නිෂ්පාදන කටයුතු සඳහා අවට පිහිටි ශාක සහ සත්ත්ව ප්‍රජාවගෙන් ද ලැබෙන්නේ මනා පිටිවහලකි.

    ඔවුන් අතින් නිෂ්පාදනයවන භාණ්ඩ අතරින් පිඟන් කෝප්ප ආදිය මෙන්ම නිවාස සැරසිලි හා සමරු භාණ්ඩ ආදිය කැපී පෙනේ. තම ව්‍යවසායකත්වය හරහා ගමේ ආර්ථිකයට උර දෙන අතරේදී මෙරට සාම්ප්‍රදායික කලා නිර්මාණකරණය ආරක්ෂා කරගැනීමටද ඔවුන්ගෙන් ලැබෙන්නේ මහත් රුකුලකි.

    කොවුල්ආර සෙරමික් යනුවෙන් ඔවුන් නම් කරන මෙම මැටි භාණ්ඩ ප්‍රදර්ශනාගාරය පිහිටා ඇත්තේ උඩවලව ජාතික වනෝද්‍යානයේ සිට කිලෝ මීටර 10ක දුරිනි. ගම්මානය කෙළවර පිහිටි වනාන්තරයෙන් ද  ඔවුන්ගේ නිර්මාණ කාර්යයට විශාල දායකත්වයක් හිමිවේ. වනාන්තරයේ නිරන්තරයෙන් සැරිසරන දිවියන්, මුවන්, කුරුල්ලන්, මොනරුන්, අලි හා වෙනත් සතුන්ගේ පා සටහන් ප්‍රවේශමෙන් ලබාගනිමින් ඒවා ඇසුරෙන් තම මැටි භාණ්ඩ විසිතුරු ගැන්වීමට ඔවුහු කටයුතු කරති. ඔවුන්ගේ නිර්මාණශීලීත්වය ප්‍රකට කරන එවැනි අගය එකතු කිරීම් තුළින් කොවුල්ආර මැටි භාණ්ඩවල සුවිශේෂීත්වය තවත් ඉහළ ගොස් තිබේ. නව ප්‍රදර්ශනාගාරය තුළ එසේ උසස් නිමාවකින් යුත් පිඟන් කෝප්ප, බන්දේසි, මල් බඳුන්, ජෝග්ගු,‍් අළු බඳුන්, සත්ත්ව රූප, විසිතුරු මාල ඇතුළු භාණ්ඩ රැසක් දැකගැනීමට පුළුවන. උඩවලව වනෝද්‍යානය වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් තම සංචාරයෙන් අනතුරු වටිනා සමරු භාණ්ඩ මිලට ගැනීම සඳහා තම ප්‍රදර්ශනාගාරය වෙත පැමිණෙනු ඇත යන්න මොවුන්ගේ අපේක්ෂාව වී තිබේ.

    ‟2004 වසරේදී අපි නිෂ්පාදන කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී අප සමඟ 140ක පමණ සාමාජික පිරිසක් හිටියා. කාලයත් එක්ක විවිධ ප්‍රශ්න අභියෝගවලට මුහුණ දෙන්න අපට සිදුවුණා. නමුත් විවිධ සංවිධානවල වගේම පුහුණුකරුවන්ගෙනුත් ලැබුණු සහාය හරහා නැවතත් අපිට මැටි භාණ්ඩ නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්න හැකිවුණා. නැවත නිෂ්පාදන කටයුතු ඇරඹීමත් නව ප්‍රදර්ශනාගාරයක් විවෘත කිරීමත් අපේ ගමනේ සුවිශේෂී කඩයිමක්”යැයි ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවේදී අදහස් දක්වමින් කොවුල්ආරගම කර්මාන්ත සමූපකාර සමිතියේ සභාපතිනී ශ්‍රියානි සුබසිංහ මහත්මිය පැවසුවාය.

    කොවුල්ආර සෙරමික් නිෂ්පාදන මේ වනවිටත් බෙයාෆුට්, සූරිය විලේජ් හා ගුඩ් මාකට් වැනි ස්ථාන රැසකදීම අලෙවිවනු දක්නට ලැබේ. තමන්ගේ වෙළෙඳපොළ මෙන්ම නිෂ්පාදන පෙළ හා නිර්මාණ රටා තවදුරටත් වර්ධනය කිරීමතුළින් තවදුරටත් තම අලෙවි කටයුතු වර්ධනය කරගැනීමට ඔවුන්ට හැකිවී තිබේ.මේ වනවිටවිසිතුරු භාණ්ඩ නිෂ්පාදනයට වැඩි අවධානයක් යොමුකර සිටින කොවුල්ආර සෙරමික් නිෂ්පාදන, ඉදිරියේදී වැඩි වශයෙන් එදිනෙදා භාවිතයට උවමනා කෙරෙන භාණ්ඩ කෙරෙහි නැඹුරු වීමට සැලසුම්කර තිබේ. කොවුල්ආර සෙරමික් නිෂ්පාදන පිළිබඳ වැඩිදුර තොරතුරු 071 319 0861 යන දුරකථන අංකයෙන් හෝ info.koulara@gmail.comයන විද්‍යුත් ලිපිනයෙන් ලද හැකි අතර බෝහෝවිට සෙනසුරාදා දිනයන්හිදී ගුඩ් මාකට්හිදී ඔවුන් මුණගැසීමට මෙන්ම එම නිෂ්පාදන මිලදීගැනීමට ද අවස්ථාව පවතී.