කොළඹ ආහාර උද්ධමනයේ විශාල අඩුවීමක්

    February, 27, 2026

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2026 පෙබරවාරි මාසයේ දී පහළ ගියේය. ඒ අනුව, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය, 2026 ජනවාරි මාසයේ දී පැවති සියයට 2.3ට සාපේක්ෂව 2026 පෙබරවාරි මාසයේ දී සියයට 1.6ක් ලෙස වාර්තා විය.

    වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, 2026 ජනවාරි මාසයේ දී වාර්තා වූ සියයට 3.3ක ආහාර උද්ධමනය 2026 පෙබරවාරි මාසයේ දී සියයට 0.2ක් දක්වා අඩුවීමක් පෙන්නුම් කළේය. ආහාර නොවන උද්ධමනය 2026 ජනවාරි මාසයේ පැවති සියයට 1.8ට සාපේක්ෂව 2026 පෙබරවාරි මාසයේදී සියයට 2.3ක් දක්වා ඉහළ ගියේය.

    කො.පා.මි. දර්ශකයෙහි මාසික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 පෙබරවාරි මාසයේ දී සියයට 0.85කින් පහළ යාමක් වාර්තා කළේය. ආහාර කාණ්ඩය, ප්‍රධාන වශයෙන් එළවලු සහ අමු මිරිස් මිල විශාල ලෙස පහළ යෑම හේතුවෙන්, මෙම අඩුවීමට ප්‍රතිශතාංක -0.86කින් දායක විය. ඒ අතර, ආහාර නොවන කාණ්ඩය ප්‍රතිශතාංක 0.01කින් දායකත්වයක් දැක්වීය. මේ අතර, ආර්ථිකයේ යටිදැරි උද්ධමන ප්‍රවණතා පිළිබිඹු කරන මූලික උද්ධමනය, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2026 ජනවාරි මාසයේ වාර්තා වූ සියයට 2.3හි සිට 2026 පෙබරවාරි මාසයේ දී සියයට 2.1 දක්වා පහළ ගියේය.

    සුදුසු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල සහාය ඇතිව, 2026 වසරේ දෙවන භාගයේ දී උද්ධමනය සියයට 5ක ඉලක්කය කරා ක්‍රමයෙන් ගමන් කරනු ඇතැයි 2026 ජනවාරි මස මුදල් ප්‍රතිපත්ති වාරයේ දී සිදු කළ උද්ධමන පුරෝකථන මගින් පෙන්නුම් කෙරේ.