කොළඹ කොටස් අද බසිද්දී ඇල්පිටියේ වටිනාකම වැඩිවෙයි

    February, 3, 2016

    අද (03) දින කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ඇල්මැරුණු ස්වභාවයක් ගත් අතර දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 23.10 ක පහළ යාමක් වාර්තා කළේය. මෙය පෙර දිනයට සාපේක්ෂව 0.36% ක අඩුවීමකි. ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය කියැවුණේ ඒකක 6,402.80 ක් ලෙසිනි.

    S&P SL20 දර්ශකය ද අද දින 0.64% කින් පහළ ගිය අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 3,336.04 ක් ලෙසින් සටහන් වුණි. අද දිනය තුළ S&P SL20 දර්ශකයේ පහළ යාම ඒකක 21.38 කි.

    දිනය තුළ ගනුදෙනුවලින් වාර්තා වූ පිරිවැටුම රුපියල් මිලියන 363.95 කි. එහිදී දේශීය ගැනුම් රු. මිලියන 232 ක් හා දේශීය විකුණුම් රු. මිලියන 225 ක් ලෙසින් වාර්තා වන අතර විදේශීය ගැනුම් රු. මිලියන 132 ක් හා විදේශීය විකුණුම් රු. මිලියන 139 ක් ලෙසින් වාර්තා වේ.

    අද දින පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දීමට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (රු. මිලියන 75), ඇල්පිටිය වැවිලි සමාගම (රු. මිලියන 44), ස්ටෑන්ඩර්ඩ් කැපිටල් (රු. මිලියන 28.8) හා ටෙක්ස්චර්ට් ජර්සි (රු. මිලියන 28.8) සමාගම් සමත්විය. දිනය තුළ වාර්තා වූ එකම ගිවිසා ගත් ගනුදෙනුව සණස සංවර්ධන බැංකුවෙන් වාර්තා විය. ඒ කොටස් 150,000 ක් රු. 150.00 බැගිනි. එයින් ජනණය වූ පිරිවැටුම රු. මිලියන 22.5 ක්වූ අතර අනෙකුත් සෑම සමාගමකම පාහේ දෛනික පිරිවැටුම රුපියල් මිලියන 20 ට වඩා අඩු අගයයක් ගනු ලැබීය.

    දිනය තුළ දක්නට ලැබුණු කැපී පෙනෙන සිදුවීම නම් ඇල්පිටිය වැවිලි සමාගමේ කොටස් මිලෙහි දැවැන්ත ඉහළ යාමක් වාර්තා වීමයි. ඊයේ දිනයේ දී රු. 17.90 කට ගනුදෙනු අවසන් වූ ඇල්පිටිය වැවිලි සමාගමේ කොටසක මිල අද දිනයේ දී රු. 22.00 දක්වා රු. 4.10 කින් ඉහළ නැඟි අතර මෙය 22.91% ක වර්ධනයකි. එසේම දිනයේ පිරිවැටුමට දෙවැනියට ඉහළ දායකත්වයක් ලබා දීමට ඇල්පිටිය වැවිලි සමාගමේ කොටස් ගනුදෙනු සමත් වූයේ මිලියන 2 ක් ඉක්මවූ කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වීම තුළිනි.

    මේ අතර ඇලුමෙක්ස් හා ටෙක්ස්චර්ඩ් ජර්සි යන සමාගම් කොටසක් සඳහා පිළිවෙලින් සත 75 සහ සත 60 බැගින් අතුරු ලාභාංශ නිවේදනය කර තිබේ.