කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි

    March, 16, 2016

    අද දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක ඒකක 50.97 කින් ඉහළ ගිය අතර යළිත් වරක් ඒකක 6,000 සීමවා ඉක්මවා යාමට ඊට අවස්ථාව ලැබිණි. මෙය පෙර දිනයට සාපේක්ෂව 0.85% ක වර්ධනයක් වන අතර දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,021.37 ක් ලෙසින් සටහන් විය.

    සුපුරුදු පරිදි අද දින උදෑසන 9.30 ට කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ආරම්භ වුවද පෙරවරු 9.38 ට එහි ගනුදෙනු අත්හිටුවන්නට සිදුවිය. මීට හේතු වූයේ කොටස් වෙළෙඳපොළ පිහිටි කොළඹ කොටුව එචිලන් චතුරශ්‍රයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ සිදු වූ විදුලිබල බිඳවැටීමකි. මේ හේතුවෙන් පෙරවරු 9.38 සිට 10.15 දක්වා මිනිත්තු 17 ක කාලයක් පුරාවට ගනුදෙනු අත්හිටුවනු ලැබීය.

    කෙසේ වෙතත් යළිත් වරක් පෙරවරු 10.15 ට ගනුදෙනු ආරම්භ වීමෙන් පසු කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රමයෙන් සක්‍රීය වන බවක් පෙනෙන්නට විය. රුපියල් මිලියන 922 ක පිරිවැටුමක් අද දින ගනුදෙනුවලින් වාර්තා වී තිබුණු අතර ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (මිලියන 208.89), ඩිස්ටිලරීස් (මිලියන 124.9) ක් හා විදුල් ලංකා (මිලියන 51) සමාගම්වල සිදුවූ ගිවිසාගනු ලැබූ කොටස් ගනුදෙනු හරහා ඒ සඳහා වැඩි දායකත්වයක් දෙනු ලැබීය. දෛනික සාමාන්‍ය ගනුදෙනුවලින් වැඩිම පිරිවැටුමක් වාර්තා වූයේ කොමර්ෂල් බැංකු කොටස් ගනුදෙනු තුළිනි. එය රුපියල් මිලියන 190 කි.

    අද දින පිරිවැටුමෙන් රුපියල් මිලියන 654 ක් දේශීය ගැනුම් ලෙසත්, මිලියන 268 ක් විදේශීය ගැනුම් ලෙසත් වාර්තා වූ අතර දේශීය විකුණුම් වටිනාකම රුපියල් මිලියන 433 ක් සහ විදේශීය විකුණුම් වටිනාකම රුපියල් මිලියන 489 ක් ලෙසින් වාර්තා විය.