June, 19, 2016
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පසුගිය සතියට අවසන් වූයේ සිකුරාදා (17) දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 30.22 ක ඉහළ යාමක් සනිටුහන් කරමිනි. කෙසේ වෙතත් ගෙවී ගිය සතිය පුරාවට 1% කින් එහි අගය පහළ ගොස් තිබේ.
මේ අතර සිකුරාදා දින දෛනික පිරිවැටුම වාර්තා වූයේ රුපියල් මිලියන 261.7 ක් ලෙසිනි. මෙය වසරේ මේ දක්වා ගනුදෙනුවලින් වාර්තා වී තිබෙන දෛනික සාමාන්‍ය පිරිවැටුම් අගය වන රුපියල් මිලියන 760 හා සැසඳීමේ දී එයින් 1/3 කට මඳක් ඉක්මවූ ප්රමාණයකි.
දිගින් දිගටම කොටස් වෙළෙඳපොළ පිරිවැටුම පහළ යන ප්‍රවණතාවයක් දක්නට ලැබෙන අතර මේ සම්බන්ධයෙන් කොටස් තැරැව්කරුවන් කියා සිටින්නේ ආයෝජකයින් ක්‍රමයෙන් සිය ආයෝජනය රජයේ සුරැකුම්පත් වැනි අඩු අවදානමක් සහිත ආයෝජන මාර්ග කරා විතැන් කරලීමට කටයුතු කරමින් සිටින බවයි. විශේෂයෙන්ම පොළී අනුපාතික ඉහළ යන පසුබිමක් තුළ භාණ්ඩාගාර බිල්පත් වැනි කෙටිකාලීන ආයෝජන මාර්ග සඳහා ඔවුන් වැඩිවශයෙන් නැඹුරුතාවයක් දක්වන බව පවසන ලදී. මේ අතර පසුගිය බදාදා (15) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී දින 91 – 8.82% සිට 8.84%, දින 182 – 9.76% සිට 9.80% හා දින 364 10.53% සිට 10.54% දක්වා යනාදී වශයෙන් ඉහළ යන ලදී.
මේ අතර පසුගිය සතියේ දී ප්‍රාග්ධන ප්රතිලාභ බදු අයකිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබීම ද කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කෙරෙහි අහිතකර ලෙසින් බලපා තිබේ. මෙම නීතිය ඉඩම් ගනුදෙනු සඳහා පමණක් ක්‍රියාත්මක බව සඳහන් වුව ද කොටස් වෙළෙඳපොළ හරහා උපයනු ලබන ප්‍රාග්ධන ලාභ කෙරෙහි කෙසේ එය බලපානුදැයි මෙතෙක් තීරණයක් ගෙන නැත. ප්‍රාග්ධන ලාබ බදු ගැන කැබිනට් නිවේදනය නිකුත් කළ දිනට පසුදිනම (16) 1% කින් කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පහළ ගියේය.
Video Story