කොළඹ කොටස් මන්දගාමී වෙයි. පිරිවැටුම පහළට

    September, 11, 2017

    අද (11) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී රුපියල් මිලියන 290.8 ක පිරිවැටුමක් වාර්තා කළේය. මෙය 2017 වසරේ මේ දක්වා වාර්තා වූ දෛනික සාමාන්‍ය පිරිවැටුම වන රුපියල් මිලියන 859.9 හා සැසඳීමේ දී පහළ අගයයකි.

    දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව ඒකක 3.62 ක පහළ යාමක් වාර්තා කළේය. දෛනික ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 6,372.24 ක් වශයෙන් වාර්තා වූ අතර S&P SL20 දර්ශක අගය ඒකක 3,672.50 ක් ලෙසින් සටහන් වූයේ පෙර දිනයට වඩා ඒකක 2.08 ක් පසුපසට යමිනි.

    දිනය තුළ දේශීය මිල දී ගැනීම් රු. මිලියන 117.81 ක් හා දේශීය විකිණුම් රු. මිලියන 167.26 ක් ලෙසින් වාර්තා විය. දෛනික පිරිවැටුමෙන් රු. මිලියන 172.98 ක් විදේශීය මිල දී ගැනීම් හා රු. මිලියන 123.53 ක් විදේශීය විකිණුම් ලෙසිනා වාර්තා වී තිබිණි.

    දිනය තුළ එක් ගිවිසා ගනු ලැබූ ගනුදෙනුවක් පමණක් වාර්තා විය. ඒ සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගමේ කොටස් 45,999 ක් රු. 775.00 බැගිනි. රුපියල් මිලියන 35.649 ක පිරිවැටුමක් එතුළින් වාර්තා විය.

    2017 වසර ආරම්භයේ සිට අද (11) දින දක්වා කාලය තුළ දී සියලු කොටස් මිල දර්ශකය 2.31% ක වර්ධනයක් වාර්තා කර තිබෙන අතර S&P SL20 දර්ශකය 5.04% ක වර්ධනයක් අත්පත් කර ගෙන තිබේ.