කොළඹ කොටස් වෙළෙඳපොළ ඓතිහාසික කඩඉමක් පසුකරයි

    October, 3, 2025

    ඉතිහාසයේ මුල් වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,000 ඉක්මවද්දී අද රු. බිලියන 10ට ආසන්න පිරිවැටුමක්

    මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් සුවිශේෂී කඩඉමක් පසුකමින්. කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (03) දිනයේ දී ඒකක 22,000 සීමාව අතික්‍රමණය කිරීමට සමත්විය.

    ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපේක්ෂව ඒකක 143.10ක වර්ධනයක් සනිටුහන් කරමින් ඒකක 22,094.89ක් ලෙසින් සටහන් වුණි.

    මේ අතර S&P SL20 දර්ශකය ඒකක 39.30ක වර්ධනයක් වාර්තා කරමින් ගනුදෙනු අවසානයේ දී ඒකක 6,187.51ක් ලෙසින් වාර්තා විය.

    රු. බිලියන 9.75 ක පසුගිය දිනවලට සාපේක්ෂව ඉහළ ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී තිබීම විශේෂත්වයකි.