කොළඹ කොටස් 13 කින් බසී – පිරිවැටුම බිලියන 1.5 ඉක්මවයි

    August, 29, 2017

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දින ගනුදෙනු අවසානයේ දී ඒකක 6,398.79 ක් ලෙසින් වාර්තා වූ අතර මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 13.58 ක පහළ යාමකි. එසේම දිනය තුළ දී S&P SL20 දර්ශකය ඒකක 8.07 කින් පහළ ගොස් ඒකක 3,686.10 ක් ලෙසින් සටහන් විය.

    දිනය තුළ දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම වූයේ රුපියල් බිලියන 1.59 ක පිරිවැටුමක් දෛනික ගනුදෙනු තුළින් වාර්තා වී තිබීමයි. ඒ සඳහා එයිට්කන් ස්පෙන්ස් සමාගමේ සිදුවූ රුපියල් මිලියන 499.16 ක කොටස් ගනුදෙනු විශාල දායකත්වයක් ලබා දුනි.

    දිනය තුළ ගිවිසා ගනු ලැබූ ගනුදෙනු 4 ක් වාර්තා වූ අතර එහිදී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කොටස් මිලියන 1.78 ක් රුපියල් 161.70 බැගින්, නෙස්ලේ කොටස් 124,729 ක් රුපියල් 1,775.00 බැගින්, සම්පත් බැංකු කොටස් 200,000 ක් රුපියල් 300.00 බැගින් සහ මෙල්ස්ටාකෝප් කොටස් 555,881 ක් රුපියල් 59.00 බැගින් ගනුදෙනු විය.

    රුපියල් බිලියන 1.59 ක්වූ දෛනික පිරිවැටුමෙන් රුපියල් බිලියන 1.11 ක් දේශීය මිල දී ගැනීම් හා රුපියල් මිලියන 479.49 ක් විදේශීය මිල දී ගැනීම් වශයෙන් සටහන් වුණි. දිනය තුළ දේශීය විකුණුම් වටිනාකම රුපියල් මිලියන 618.11 ක් වන අතර විදේශීය විකුණුම් රුපියල් මිලියන 974.49 ක් ලෙසින් වාර්තා වී තිබේ.