කොළඹ 05 මහල් නිවාස වෙළඳපොලේ  ක්‍රියාකාරීම ප්‍රදේශය බව RIUNIT විශ්ලේෂණයෙන් හෙළිදරව් වේ

    November, 14, 2025

    Research Intelligence Unit (RIUNIT) විසින් 2025 තුන්වන කාර්තුව දක්වා නිකුත් කළ නවතම දේපළ වෙළඳපොල දත්ත විශ්ලේෂණයෙන් හෙළිදරව් වන්නේ කොළඹ 05 ප්‍රදේශය සමස්ත කොළඹ නගරයේම දේපළ වෙළඳපොලේ විශිෂ්ටතම ක්‍රියාකාරීත්වය දක්වන කලාපය බවයි.

    මෙම විශ්ලේෂණයේ වඩාත්ම සැලකිය යුතු සොයාගැනීම වන්නේ එක්සත් ජනපද ඩොලර් වලින් මනිනු ලබන කොළඹ මහල් නිවාස වෙළඳපොල මිල ගණන්වල ශක්තිමත් යථා තත්ත්වයයි. රුපියල්වලින් ගණනය කළ විට සාමාන්‍ය මහල් නිවාස මිල ගණන් කොවිඩ්-19 වසංගතය සහ ආර්ථික අර්බුදය අතරතුරදී පවා ඉහළ යන ප්‍රවණතාවක් පෙන්වූ නමුත්, එම වර්ධනයෙන් සැලකිය යුතු කොටසක් 2022 වර්ෂයේ සිදු වූ මුදල් අවප්‍රමාණයට හේතු විය. එහි ප්‍රතිඵලයක් ලෙස, විශේෂයෙන් ජාත්‍යන්තර ආයෝජකයින් සඳහා, දේපළ වෙළඳපොල ප්‍රවණතා මැනීමේදී රුපියල භාවිතය සීමිත වූයේය.

    RIUNIT විසින් සිදු කළ විශ්ලේෂණය අනුව, රුපියල් මත පදනම් වූ apartment මිල ගණන් COVID හා ආර්ථික අර්බුද සමයේදී පවා ඉහළ යාමක් පෙන්වුවද, එය බොහෝ විට 2022 වසරේ රුපියලේ දැඩි අවප්‍රමාණය නිසා ව්‍යාජ වර්ධනයක් ලෙස සැලකේ. එහෙත් ඩොලර් සහ අනෙකුත් විදේශ මුදල් ඒකක මත පදනම් වූ මිල අගයන්, ආර්ථික අස්ථාවරතාවය හා මුදල් අගය වෙනස්වීම් අතරතුර පවා තත්ත්වය පවත්වාගෙන ගොස්, දැන් සැබෑ ප්‍රතිලාභයකට පත්ව ඇති බව දත්ත පෙන්වයි.

    වෙළඳපොල විශේෂඥයින් පෙන්වා දෙන්නේ 2021 වර්ෂයේ විදේශ මුදලකින් කොළඹ මහල් නිවාසයක් මිලදී ගත් ආයෝජකයෙකු 2022/23 කාලය තුළ මිල ගණන්වල යම් උච්චාවචනයක් අත්විඳ ඇතත්, 2024/25 වන විට ධනාත්මක ප්‍රාග්ධන ලාභ තත්ත්වයකට පත්ව ඇති බවයි.

    නව මහල් නිවාස ව්යාපෘති සහ මිල වර්ධනයෙන් කොළඹ 05 ඉදිරියෙන්

    විශ්ලේෂණයේ දෙවන කැපී පෙනෙන සොයාගැනීම වන්නේ නව මහල් නිවාස ව්‍යාපෘති සංඛ්‍යාව, මහල් නිවාස මිල වර්ධනය සහ ඉඩම් මිල වැඩිවීම යන සියලු අංශවලින්ම කොළඹ 05 ප්‍රදේශය ප්‍රමුඛතම ස්ථානයට පත්ව ඇති බවයි. කොළඹ නගරයේ විවිධ කලාප සංසන්දනය කිරීමේදී, කොළඹ 05 සියලු අංශවලින්ම හොඳම ප්‍රතිඵල දක්වන කලාපය බව පැහැදිලිව හඳුනාගත හැකිය.

    Tier 2 සහ 3 සුඛෝපභෝගී මහල් නිවාස කාණ්ඩයේ, කොළඹ 05 හි වර්ග අඩියකට මිල ගණන් කොළඹ සඳහා වන සාමාන්‍ය මිල ගණන්ට වඩා ඉහළින් පැවතීම අඛණ්ඩව දිගටම පවතී. 2022 වර්ෂයේදී ඩොලර් මිල ගණන්වලින් සමස්ත වෙළඳපොල පහත වැටීමක් අත්විඳ ඇතත්, එතැන් සිට සිදු වූ යථා තත්ත්වයේ වේගය කොළඹ 05 ප්‍රදේශයේ වඩාත් ශක්තිමත් වී ඇත.

    වෙළඳපොලේ ඉහළ කෙළවර ඉලක්ක කරගත් සංවර්ධකයින් අතර කොළඹ 05 ප්‍රදේශය වැඩි ජනප්‍රියත්වයක් ලබමින් පවතින බව ද මෙම විශ්ලේෂණයෙන් අනාවරණය වේ. ඉදිරියේ දී එළඹෙන සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘති මෙම ප්‍රවණතාව පැහැදිලිව නිරූපණය කරයි.

    මෙහි කැපී පෙනෙන උදාහරණයක් ලෙස, දැනටමත් රාජගිරිය නගරයේ බුත්ගමුව ප්‍රදේශය ඉල්ලුම අධික නේවාසික ප්‍රදේශයක් ලෙස පරිවර්තනය කර ඇති Fairway Holdings සමාගම, ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කිරීමට නියමිත Fairway Latitude නම් සිය නව ව්‍යාපෘතිය සමඟ කොළඹ 05 වෙළඳපොලට ඇතුළු වීමට සූදානම්ව සිටී. ස්ටැෆර්ඩ් මාවත ඉදිරිපිට High Level  පාරේ පිහිටන මෙම සංවර්ධන ව්‍යාපෘතියේ මහල් නිවාස ඒකක 176ක් ඇතුළත් වේ.

    සමාජීය යටිතල පහසුකම් සහ කේන්ද්රීයත්වය ප්රධාන සාධක

    වෙළඳපොල ප්‍රවණතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් RIUNIT හි ප්‍රධාන විධායක නිලධාරී රොෂාන් මඩවල මහතා කියා සිටියේ, කොළඹ 05 ප්‍රදේශයේ ජනප්‍රියත්වය වැඩිවීමට ප්‍රධාන සාධක කිහිපයක් දායක වී ඇති බවයි.

    "පළමුව, කොළඹ 05 ප්‍රදේශය එහි පදිංචිකරුවන්ට අගනගරයේ උසස්ම සමාජීය හා භෞතික යටිතල පහසුකම් සපයයි. මෙම ප්‍රදේශයේ පිහිටි රෝහල් සහ ජාත්‍යන්තර පාසල් නිසා, විශේෂයෙන් දරුවන් සිටින පවුල් සහ විශ්‍රාමික යුවළයන් සඳහා, මෙය තමන් විසින් මිලදී ගෙන ජීවත් වීමට අතිශයින් ආකර්ශනීය ස්ථානයක් බවට පත්වේ," ඔහු පැවසීය.

    "දෙවනුව, මෙම ප්‍රදේශයේ කේන්ද්‍රීය පිහිටීම එය සංචාරකයින්, දිගුකාලීන සංචාරකයින් සහ නිතිපතා ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශගත ශ්‍රී ලාංකිකයන් සඳහා විශේෂයෙන් ආකර්ෂණීය ස්ථානයක් බවට පත්වේ. එබැවින්, දේපළ ආයෝජකයින් මෙම ප්‍රදේශයට ආයෝජනය කර ඉහළ කුලී ප්‍රතිලාභ අත්කර ගනිමින් සිටිති."

    තවද, බාහිර ආර්ථික කම්පන නොමැති නම්, සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය සහ ආර්ථික වර්ධනය හේතුවෙන් ආදායම් වැඩිවීම ඇතුළු ධනාත්මක සාධක නිසා කොළඹ මහල් නිවාස වෙළඳපොල තව තවත් ශක්තිමත් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද මඩවල මහතා අවධාරණය කළේය. RIUNIT හි නවතම දත්ත අනුව, කොළඹ 05 ප්‍රදේශය මෙම වර්ධනයට නායකත්වය දෙමින් පවතී.

    Research Intelligence Unit යනු ශ්‍රී ලංකාවේ වසර 22ක පළපුරුද්දක් ඇති උපදේශන පර්යේෂණ ආයතනයකි. දේපළ උපදේශන සේවා ඇතුළු විවිධ අංශවල වෙළඳපල ප්‍රමුඛයා වන මෙම සමාගම, ශ්‍රී ලංකාව මෙන්ම ආසියාවේ නැගී එන අනෙකුත් වෙළඳපලවල සංවර්ධනයට නොකඩවා සහාය වී ඇත. වැඩි විස්තර සඳහා info@riunit.com ලිපිනය වෙත ඊ-තැපෑලෙන් අමතන්න.