July, 16, 2024
2023 වසර සඳහා ගෙවිය යුතු සම්පූර්ණ බදු මුදල වන රු. බිලියන 1.1 ක මුදල 2024.06.30 වැනි දිනට හෝ ඊට පෙර අදාළ මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අය කර ගැනීම සඳහා කාරක සභාව විසින් 2024.04.24 වන දින ලබා දුන් නිර්දේශ ප්‍රකාරව ඒ සඳහා ප්‍රමාණවත් පියවර නොගැනීම පිළිබඳව කාරක සභාව විසින් සිය බලවත් අප්‍රසාදය පල කරන ලදී.
එහිදී සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව විසින් ලබා දුන් නිර්දේශයන් සහ පෙර වසරවල සුරා බදු අය කරගැනීම සඳහා වන ගිවිසුම් අතර වන පරස්පරයන් සහ ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර 2024.05.02 වෙනිදා ලිපියක් මගින් මුදල් අමාත්‍යාංශයෙන් විමසා සිටිය ද ඒ සඳහා අමාත්‍යාංශය පාර්ශවයෙන් පිළිතුරක් නොලැබුනු බවයි.
මේ පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව 2024.07.10 දින එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස් වූ අවස්ථාවේදීය.
මෙහිදී ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම රුපියල් මිලියන 1,659 ක්, හිඟුරාන ඩිස්ටිලරීස් රුපියල් මිලියන 102 ක්, සිනර්ජි සමාගම රුපියල් මිලියන 37 ක්, වයඹ ඩිස්ටිලරීස් රුපියල් මිලියන 79 ක් වශයෙන් 2023 වර්ෂයේ සිට 2024.06.15 දිනට අයවිය යුතු මුළු හිඟ බදු හා අයභාර රුපියල් බිලියන 1.8ක් (රු. කෝටි 180ක්) බවද කාරක සභාව හමුවේ අනාවරණය විය. මෙසේ හිඟ බදු සම්පූර්ණයෙන් අය කර ගන්නා ලෙසට කාරක සභාව විසින් නිර්දේශය ලබා දී තිබියදී සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිය කාරයභාරය පැහැර හැරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සහ මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවද කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.
තවද, ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගම හැර අනෙකුත් සමාගම් සමග සුරාබදු දෙපාර්තමේන්තුව ඇති කරගත් ගෙවීම් ගිවිසුම් මේ වන විට අක්‍රිය තත්ත්වයට පත්ව ඇති බව මෙහිදී අනාවරණය විය. මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට සුරාබදු කොමසාරිස් ජනරාල් අසමත් වී ඇති බවත්, එසේ තිබියදී කොමසාරිස්වරයා විසින් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව මග හරිමින් සිටින බවත්, සුරාබදු දෙපාර්තමේන්තුව කාරක සභාවේ නිර්දේශයන් නොසළකා හරිමින් සිටින බවත් එය පාර්ලිමේන්තුවටත් කමිටුවත් කරන අගෞරවයක් බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.
2023 වසර සඳහා හිඟ සුරාබදු නොගෙවන සමාගම්වල මත්පැන් නිෂ්පාදන බලපත්‍ර තාවකාලිකව අත්හිටුවන ලෙස යළි මුදල් අමාත්‍යාංශය වෙත ලිඛිතව දන්වා යවන ලෙස කාරක සභා සභාපතිවරයා විසින් කාරක සභාවේ ලේකම්වරිය වෙත මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.
සාමාන්‍ය ජනතාව වෙත බදු පනවමින් තිබියදී සුරාබදු දෙපාර්තමේන්තුව, හිඟ සුරාබදු නොගෙවන මත්පැන් නිෂ්පාදකයින් කෙරෙහි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් ද, කාරක සභාව සිය අප්‍රසාදය පළ කර සිටියේය. එමෙන්ම කාරක සභාව විසින් කාරක සභා රැස්වීම් 4දී මුදල් අමාත්‍යාංශය වෙත ලබා දී තිබූ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළ විය.