August, 6, 2014
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් එළි දක්වා තිබෙන නවතම අතුරු වාර්තාවෙන් ගැටලු සහගත ගනුදෙනු රැසක්ම හෙළිකර තිබෙන අතර නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (HDFC Bank) ලංකා විදුලි බල මණ්ඩලය සතු රුපියල් මිලියන 450 ක ස්ථාවර තැන්පතුව තවදුරටත් බැංකුව සතුව පවත්වාගෙන යාමට සියයට 18 ක් වන සාමාන්‍ය පොලී අනුපාතයෙන් බැහැරව සියයට 22.5 ක පොලී අනුපාතයක් ගෙවීම නිසා බැංකුව රුපියල් මිලියන 69 ක අලාභයක් ලබා තිබේ.
මේ අතර, රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත්ව තිබූ කොළඹ ග්‍රෙගරි පාරේ පිහිටි වරක් රුපියල් මිලියන 50 කට ලංකා බැංකුවට උකස් කරන ලද ඉඩම පසුව එම සංස්ථාව විසින් එම උකස පියවා ගැනීම් ආශ්‍රිත යම් කොන්දේසි වලට යටත්ව පුද්ගලික සමාගමකට රුපියල් මිලියන 243 කට විකුණා තිබේ. කෙසේවෙතත්, ගනුදෙනුවට අදාළව සංස්ථාවට ලැබී තිබෙන්නේ රුපියල් මිලියන 11.9 ක මුදලක් පමණි.
සමාජ ආරක්ෂණ මණ්ඩලයේ මූලස්ථානය වශයෙන් භාවිතා කෙරෙමින් පැවති පරිශ්‍රයෙන් නියමිත කාලයට පෙර ඉවත්වීම හේතුවෙන් ඉතිරිව තිබූ මාස 07 වෙනුවෙන් රුපියල් 5,090,906 ක මුදලක් ගෙවීමට එම මණ්ඩලයට සිදුවී තිබේ.
පසුව, එම මූලස්ථානය ස්ථානගත කිරීම සඳහා ස්ථීර ස්ථානයක් ලබාදී නොතිබීම හේතුවෙන් එම ආයතනය රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලක් රුපියල් මිලියන 195 ක මුදලකට මිලටගෙන තිබුණේ රජයේ තක්සේරුකරු එය රුපියල් මිලියන 165 ක් ලෙස තක්සේරු කර තිබියදීයි.
මේ අතර, ලංකා ඛනිජ තෙල් සංස්ථාවට මිහින් ලංකා ආයතනයෙන් රුපියල් බිලියන 4.4 ක් අය විය යුතුව තිබෙන බවත් මෙම අතුරු වාර්තාවේ දැක්වේ.
Video Story