ගංගාරාමයේ නාහිමියන්ගේ මැදිහත්වීමෙන් Altair හින්දු ආගමික ස්ථානයක් ඉදිකරයි

    December, 15, 2016

    මෙරට ප‍්‍රධාන මහා සංඝ්‍යා වහන්සේ නමක් විසින් කළ ඉල්ලීම සපුරමින් කොළඹ 02 ප‍්‍රදේශයේ පරිසරයට නූතනත්වය කැඳවමින් සුපිරි ද්විත්ව තට්ටු නිවාස සංකීර්ණයක් ඉදිකරන Altair සමාගම විසින් ප‍්‍රජාව වෙනුවෙන් කොම්පඤ්ඤ වීදියේ යුනියන් පෙදෙස සහ ශ‍්‍රීමත් ජේම්ස් පීරිස් මාවත සම්බන්ධ වන වටරවුමේ හින්දු ආගමික ස්ථානයක් ඉදිකරන ඇත.

    මෙම ඉල්ලීම හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපතිල කොළඹ නවකෝරළයේ ප‍්‍රධාන සංඝ නායක පූජ්‍ය ගල්බඩ ඥාණිස්සර නාහිමියන් වහන්සේ විසින් සිදුකර තිබෙන අතර මේ වනවිටත් මෙම වටරවුම අභියස බෞද්ධ පන්සලක් සහ කතෝලික පල්ලියක් මෙන්ම මුස්ලිම් පල්ලියක් පිහිටා තිබේ. මෙම ස්ථානයේ හින්දු ආගමික ස්ථානයක්ද පිහිටුවන්නේ නම් එම ස්ථානය ආගමික සහජීවනයේ සංකේතයක් වනු ඇතැයි නාහිමිපාණන් වහන්සේ සඳහන් කර ඇත.

    මේ අනුව, පසුගියදා පැවති උත්සවයකදී පූජ්‍ය ගල්බඩ ඥාණිස්සර නාහිමියන්, පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන්, ශ‍්‍රී මුතු විනයාගර් ස්වාමි කෝවිලේ ශිව ශ‍්‍රී බස්කර කුරුක්කල් තුමා, බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීමේ සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඞී.එම්. ස්වාමිනාදන් මහතා සහ Altair සමාගමේ සම-සභාපති ආර්.එස්. ගොඑන්කා මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගණ දෙවියන්ට කැපකළ අඩි 20 ක් උස ආගමික ස්ථානයක් විවෘත කරන ලදී.

    මෙම ආගමික ස්ථානය ඉන්දියානු හින්දු ශෛලයට නිර්මාණය කර ඇති අතර ගංගාරාම විහාරස්ථානයට අයත් ඉඩමක එය ඉදි කර තිබේ.

    සේයාරුවෙන් දැක්වෙන්නේ Altair සමාගම විසින් කොම්පඤ්ඤ වීදියේ ඉදි කර තිබෙන හින්දු ආගමික ස්ථානය සහ එය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වූ සම්භාවනීය අමුත්තන් පිරිසයි.