May, 22, 2016
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක පසුගිය සතිය අවසානයේ දී පහළ බසින ස්වභාවයක් පෙන්නුම් කරන ලදී. එහිදී පසුගිය සිකුරාදා (20) දෛනික ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 14.86 කින් පහළ ගොස් ඒකක 6,633.27 ක් ලෙසත්, S&P SL20දර්ශකය ඒකක 6.05 කින් පහළ ගොස් ඒකක 3,454.64ක් ලෙසත් වාර්තා විය. පිළිවෙලින් මෙම මිල දර්ශක සිකුරාදා දිනයේ දී 0.22% හා 0.17% බැගින් සිකුරාදා දිනයේ දී පහළ යන ලදී.
දෛනික පිරිවැටුම රු. මිලියන 839.2 ක් ලෙසින් සටහන් වූ අතර එහිදී දේශීය මිල දී ගැනීම් හා විකිණුම් පිළිවෙලින් රු. මිලියන 433.47 හා රු. මිලියන 332.26 බැගින් වූ අතර විදේශීය මිල දී ගැනීම් හා විකිණුම් පිළිවෙලින් රු. මිලියන 405.73 හා රු. මිලියන 506.94 බැගින් විය.
මේ වන විට කොළඹ නගරයට බලපා තිබෙන ගංවතුර තත්ත්වය හමුවේ ලැයිස්තුගත සමාගම් වන ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆල්ට්ස් (සිලෝන්) හා ලයන් බෘවරි යන සමාගම්වල කර්මාන්ත ශාලා මුළුමනින්ම වසා දැමීමට සිදුව තිබේ. මෙම තත්ත්වය මත සිකුරාදා දිනයේ දී ලයන් බෘවරි කොටස් මිල 3.45% කින් පහළ ගියේය.
අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පසුගිය සතිය තුළ දී දිවයින පුරාවට සාමාන්‍ය ජන ජීවිතයට බලපෑම් එල්ල වූ අතර බැංකු, රක්ෂණ, ආහාරපාන ඇතුළු කාණ්ඩ රැසක සමාගම්වල ශාඛා ගණනාවක් ඊට ගොදුරු විය. මේ පසුබිම ඒවා යථා තත්ත්වයට පත්වීම මෙම සතිය තුළ දී සිදුකළ යුතු බැවින් ඒ සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සමාගම්වලට සිදුවීම වැළැක්විය හැකි නොවේ.
තවද හානියට පත් පාර්ශවවල හානි පූරණය සඳහා රක්ෂණ සමාගම් හි ක්‍රියාකලාපය පිළිබඳව ද මේ වන විට මහජනයාගේ දැඩි අවධානය යොමුව තිබේ. මෙවන් අවස්ථාවක දී රක්ෂණ සමාගම් විසින් ගනු ලබන තීන්දු තීරණ අනුව සිය ගනුදෙනුකරුවන්ගේ විශ්වාසනීයත්වය රැක ගැනීමේ අවස්ථාව ඔවුන්ට හිමිවන අතර එසේ නොවුණහොත් දීර්ඝ කාලීනව ඔවුන්ගේ වෙළෙඳපොළ කොටසට එය බලපා හැකි බව වෙළෙඳපොළ විශ්ලේෂකයින්ගේ අදහසයි.
Video Story