February, 17, 2026
සන්නිවේදන පහසුකම් නොමැති ප්‍රදේශ හා අඩු සන්නිවේදන පහසුකම් සහිත ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශවල විදුලි සංදේශ සේවා වැඩිදියුණු කිරීම මඟින් ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි 4G පුළුල් පරාස සේවා පහසුකම් සැපයීම අරමුණු කරගත් 'ගමට සන්නිවේදනය' ව්‍යාපෘතිය, 2004 අංක 11 දරන මුදල් පනතේ විධිවිධාන යටතේ 2021 වර්ෂයේ සිට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇත.
ජංගම දුරකථන සේවා සපයන සමාගම් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන එකී ව්‍යාපෘතියේ ප්‍රධානතම ක්‍රියාකාරකම වශයෙන් පිරිවැය බෙදාගැනීමේ ක්‍රමවේදයක් මඟින් සන්නිවේදන කුලුනු ඉදිකරනු ලබයි.
මේ වන විට එම ව්‍යාපෘතිය යටතේ සේවාදායක සමාගම් විසින් සන්නිවේදන කුලුනු 83ක් ඉදි කර ජංගම සේවා පහසුකම් සපයනු ලැබ තිබේ.
ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙන් සේවාදායක සමාගම්වල මෙහෙයුම් පිරිවැය ඉහළ යාම සහ ඇතැම් සන්නිවේදන කුලුනු මඟින් උත්පාදනය වන ආදායම ප්‍රමාණවත් නොවීම යන කරුණු මත අදාළ කුලුනු ඉදිකිරීමේ කටයුතු මන්දගාමී වී තිබේ.
කෙසේ වෙතත්, මේ වන විට කුලුනු ඉදිකිරීමට අදාළ උපකරණවල මිල ගණන් පහළ යාමේ ප්‍රවණතාව ද සැලකිල්ලට ගනිමින්, 'ගමට සන්නිවේදනය' ජාතික ව්‍යාපෘතිය වේගවත් කර, එම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ වඩාත් කඩිනමින් හා ඵලදායි ලෙස අදාළ ප්‍රදේශවල ජනතාවට ලබා දීමට හැකි වන පරිදි සන්නිවේදන කුලුනක් වෙනුවෙන් එකී කුලුන ඉදි කළ සේවා සපයන සමාගම වෙත රුපියල් මිලියන 35ක උපරිම මුදලක් හෝ එකී සන්නිවේදන කුලුනු ඉදිකිරීම සහ ඊට අදාළ උපකරණ සඳහා වැය වන සත්‍ය පිරිවැයෙන් 75%ක් යන දෙකෙන් අවම අගය ප්‍රතිපූර්ණය කිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නව මාර්ගෝපදේශ නිකුත් කරනු ලැබ ඇත.
ඒ පිළිබඳව ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ඇත.