March, 4, 2015
ලක් විජය බලාගාරයට ආනයනය කළ ගල් අඟුරු තොගයක් කැබිනට් අනුමැතියකින් තොරව ඉන්දියානු සමාගමකට ලබාදීමෙන් රජයේ දේපොළ සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කිරීමට සැකපිට සිලොන් ෂිපිං ලිමිටඩ් ආයතනයේ හිටපු සභාපති කාංචන රත්වත්ත, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ එම්.සී. දෙල්ගොඩ, මහා භාණ්ඩාගාරයේ ආර්.එම්.කේ. රණතුංග සහ වරාය අධිකාරියේ ආර්.එච්. ජයවික‍්‍රම යන අය අත්අඩංගුවට ගත්බව රජය කියයි.
2012 සහ 2013 වර්ෂ වලදී නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයට නැව් දෙකකින් රැගෙන ආ රුපියල් මිලියන 528 ක් පමණ වන මෙම ගල් අඟුරු තොගය වාරකන් සමය නිසා ගොඩබෑමට නොහැකිවීමක් මත කැබිනට් අනුමැතියකින් තොරව ඉන්දියානු සමාගමක් වෙත ලබාදීමෙන් රජයේ දේපළ සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩකර ඇතැයි රජය සඳහන් කරයි.
මෙයට අදාළව මෙම පුද්ගලයින් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මගිනි.
මෙම පැමිණිල්ල විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් බී.එම්. එස්. බටගොඩ මහතා විසින් 2015.02.20 වන දින පොලිස් මූලස්ථානයට යොමු කිරීමෙන් අනතුරුව පොලිස්පති විසින් විශේෂ විමර්ශන ඒකකය වෙත විමර්ශන කටයුතු සඳහා භාරදී තිබේ.
මෙම සිද්ධියට අදාළව විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික මහතාගෙන්ද අද දින ප‍්‍රකාශයක් ලබාගෙන තිබෙන අතර ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ මෙම ගනුදෙනුව සම්මත පරිපාටියෙන් පරිභාහිරව කැබිනට් අනුමැතියකින් තොරව සිදුකර ඇති බවයි.
එම සිද්ධියට අදාළව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන ආචාර්ය ෆර්ඩිනැන්ඩස් මහතාගෙන්ද ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිත අතර ඔහු දැනට ඕස්ටේ‍්‍රලියාවේ සිටින බවට කරුණු අනාවරණය වී ඇත.
Video Story