July, 21, 2016
ගාලූ මුවදොර හෝටලයේ කවුරුත් ‘රත්නායක‘ ලෙස හඳුන්වන රත්නායක මුදියන්සේලාගේ පුංචි බණ්ඩා මහතා ගාලූ මුවදොර හෝටලයට එක්වූයේ මීට වසර 50 කට පෙර ය. එදා සිට අද දක්වා ඔහු මෙරටම පැරණිම හෝටල් අතරින් එකක් වන ගාලූ මුවදොර හෝටලයට අපමණ ළැදියාවෙන් යුතුව සේවය කර තිබේ.
1966 ජූලි මස 18 වනදා ගාලූ මුවදොර හෝටලයේ සේවයට බැඳෙන විට රත්නායක මහතා යන්තම් තුරුණු වියට එළඹුණා පමණි. 1864 ආරම්භ වූ හෝටලය ඒ වනවිටත් වසර 100 ක ආයු කාලයක් පසුකර තිබිණි. තම සේවා කාලයේ පළමු වසර 10 ඇතුළත රටබීම හලේ කම්කරු තනතුරේ සිට හෝටලයේ ආරක්ෂක තනතුර දක්වා උසස් වීමට ඔහු සමත් විය. ඉන් අනතුරුව, මීට වසර 40 කට පෙර, ඔහු ‘ඩෝමන්‘ කෙනෙකු ලෙස අමුත්තන් පිළිගැනීම ඇරඹුවේය.
“රත්නායක හුදෙක් ඩෝමන් කෙනෙක් පමණක් නෙවෙයි. ඔහු මේ හෝටලයේම කොටසක්. බොහෝදුරට අමුත්තන් හෝටලයට පැමිණෙද්දී මුලින්ම දකින්නෙත්, පිටව යද්දී අවසානයට දකින්නෙත් ඔහුවයි. ඒ වගේම ඔහු හෝටලයේ හැම දෙයක් ගැනම හොඳින් දන්නවා. ඒ දැනුමෙන් අමුත්තන් ඇතුළුව කොයිකාටත් උදවු කරන්නට ඔහු හැම වෙලාවේම සූදානම්.“ ගාලූ මුවදොර හෝටලයේ සභාපති සංජීව් ගාඩිනර් මහතා පැවසී ය.
රැකියාවට තමන් දක්වන ළැදියාව ගැන අදහස් දක්වමින් රත්නායක මහතා පැවසුවේ තමන් කොයි කා සමගත් කතාබහ කර සුහදව සිටින්නට කැමති පුද්ගලයෙකු බවයි. ඒ නිසා මේ රැකියාව ගැන තමන් ඛෙහෙවින් තෘප්තිමත් බව ඔහු කියා සිටියේ ය.
“හොඳට රැකියාව කරන්න නම් ආසාවෙන් රැකියාව කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම මම කාටත් හිතවත්ව, ගෞරවයෙන් සලකනවා. එදා ඉඳන්ම මම පුරුදුවෙලා ඉන්නේ එහෙම කරන්නයි.“ රත්නායක මහතා වැඩිදුරටත් පැවසී ය.
හෝටලයේ සේවය කළ මෙම දිගු කාලය තුළ ඉන්දිරා ගාන්ධි, මාෂල් ටිටෝ, ෆිඩෙල් කැස්ත්‍රෝ සහ යූරි ගගාරින් වැනි සුවිශේෂී අමුත්තන් පිළිගැනීමේ අවස්ථාව රත්නායක මහතා වෙත හිමි විය. එමෙන්ම ඔහු මෙරට ජනාධිපතිවරුන් හා අගමැතිවරුන් රැසක්ද පිළිගෙන ඇත. ඊට අමතරව වරක් සුප්‍රකට ලේඛක ආතර් සී. ක්ලාක් මහතාටද (එතුමන් ලියූ 3001: The Final Odyssey ග්‍රන්ථය ගාලූ මුවදොර හෝටලයේදී ලියැවුණක් ලෙස සැලකේ) ඔහු කුඩය ඉහලා සෙවණ සලසා තිබේ.
මෙරට සුප්‍රකටම ඩෝමන්වරයා වූ (ගාලූ මුවදොර හෝටලයේ සේවය කර 2014 වසරේදී අභාවප්‍රාප්ත වූ) කොට්ටරප්පු චට්ටු කුට්ටන් මහතා යටතේ රත්නායක මහතා පුහුණුව ලැබී ය. හෝටලයේ වසර 72 ක් සේවය කර වයස අවුරුදු 94 දී මියගිය කුට්ටන් මහතා ඒ වනවිට ලොව පැර‚තම හෝටල් සේවකයෙකු ලෙස සැලකිණි. ඒ මහතාගේ පියවර අනුගමනය කරමින් දිගින් දිගටම ගාලූ මුවදොර හෝටලයට ළැදිව සේවය කිරීම රත්නායක මහතාගේ අරමුණ වී ඇත.
මෙතරම් කාලයක් පුරා රත්නායක මහතා හෝටලයට කළ සේවය ඇගයීම සඳහා පසුගියදා විශේෂ උත්සවයක් සංවිධානය කරන ලදි. එහිදී එම සේවය අගය කරමින් රත්නායක මහතා වෙත විශේෂ ත්‍යාගයක් පිරිනැමීමට ගාලූ මුවදොර හෝටලයේ සභාපති සංජීව් ගාඩිනර් මහතා කටයුතු කළේය.
Video Story