January, 2, 2016
පෙරේදා (2015 දෙසැම්බර් 31) අද දෙරණ කළ විමසීමක දී සමාගම් ලියාපදිංචිය හා පවත්වා ගෙන යාම සඳහා නව ගාස්තු ක්‍රියාත්මක වීමක් පිළිබඳ තමන් දැනුවත් වී නැතැයි ප්‍රකාශ කළ සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් රන්ජන් සිරිවර්ධන මහතා ඊයේ දිනයේ දී (2016 ජනවාරි 01) අප ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී කියා සිටියේ නව ගාස්තු ක්‍රමවේදය 2016 ජනවාරි 01 වැනි දා සිට ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබෙන බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා මෙසේ කියා සිටියේය.
“බලපත්‍ර ගාස්තු අයකිරීමේ කාලසීමාව සඳහන් කරලා තියෙන්නේ 2016 වර්ෂය ගත්තොත් ජනවාරි 01 වැනිදා සිට මාර්තු 31 දක්වා. ඒ කාලසීමාව තුළ, ඒ ලියාපදිංචි කරපු සමාගම්වලට අදාළව ඒ බලපත්‍ර ගාස්තුව ගෙවන්න ඕනේ. අයවැය යෝජනවාවේ සඳහන් වන්නේ වාර්ෂික බලපත්‍ර ගාස්තුවක් ලෙස මෙම මුදල අයකර ගෙන, ඒ අයකර ගන්නා සම්පූර්ණ මුදලම මහාභාණ්ඩාගාරයට යවන්න“.
කෙසේ වෙතත් මෙම යෝජනා ක්‍රියාත්මක වන්නේ 2017 වසරේ සිට බව පෙරේදා අප හා අදහස් දැක්වු සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තුමේන්තුවේ ගණකාධිකාරී ඊ.එම්.එන්. බණ්ඩාර මහතා කියා සිටියේය.
“අයවැය යෝජනාව නිසා කට්ටියට වැරදි අවබෝධයක් ලැබිලා තියෙනවා. මේ පාර අයවැයේ තියෙනවා සෑම රජයේ ගාස්තුවක්ම වසර 3 කට වරක් සංශෝධනය කරන්න ඕනේ කියලා. අපි අවසන් වරට සංශෝධනය කළේ 2013, ඒ අනුව 2016 අවසන් සංශෝධනය කරලා, 2017 ජනවාරි සිට අලුත් ගාස්තු අයකිරීමට බලාපොරොත්තු වෙනවා“, යැයි ඒ මහතා මෙහිදී පැවසීය.
2016 අයවැය යෝජනා ප්‍රකාරව සමාගම් ලියාපදිංචිය සඳහා අයකරන ගාස්තු ද ඉහළ දැමෙනු ඇත. මෙතෙක් පැවති ලියාපදිංචි ගාස්තුව වූයේ රු. 16,000 (Form 1) ක් සහ අධ්‍යක්ෂවරුන්ගේ තොරතුරු වෙනුවෙන් (Form 18) එක් අයෙකුට රු. 1,000 බැගිනි.
මීට අමතරව වාර්ෂික වාර්තා ගොනු කිරීම වෙනුවෙන් මෙතෙක් අයකළ රු. 5,500 ගාස්තුවට අමතරව වාර්ෂික බලපත්‍ර ගාස්තුවකට සමාගම් යටත් වේ. ඒ පහත පරිදිය.
පුද්ගලික සමාගම් - රු. 60,000
ලැයිස්තුගත සමාගම් - රු. 500,000
වෙනත් (ඇපයෙන් සීමිත සමාගම් ඇතුළුව) - රු. 100,000
තවද යම් සමාගමක් ස්වෙච්ඡාවෙන් ඈවර කිරීමට කටයුතු කරන්නේ නම් 2016 ජනවාරි 01 වැනිදා සිට ඒ වෙනුවෙන් රු. 50,000 ක ගාස්තුවක් අය කරනු ඇත.
මේ තත්ත්වය හේතුවෙන් බොහෝ සමාගම් හිමියන් සිය වාර්ෂික වාර්තා ගාස්තු පසුගිය දෙසැම්ර් 31 දිනට පෙර ගෙවා දැමීමටත්, තවත් අය තම සමාගම් වසාදැමීමටත් පියවර ගැනීම හේතුවෙන් දෙසැම්බර් 31 වන දින සමාගම් මැදුරේ දැඩි තදබදයක් දක්නට ලැබුණි.
Video Story