October, 24, 2025
ශ්‍රී ලංකාවේ තේවල ගෝලීය කීර්තිය ඉහළ නංවමින් පසුගිය දා ජපානයේ පැවැති තේ වෙන්දේසියකදී නිව් විතානකන්ද සිලෝන් කළු තේ ලොව මෙතෙක් අලෙවි වූ වඩාත් මිල අධිකම තේ ලෙස ගිනස් ලෝක වාර්තා අතරට එක් වීමට සමත් විය.
එහි දී "නිව් විතානකන්ද තේ කර්මාන්තශාලාව" ඉදිරිපත් කළ තේ තොගය අලෙවි වී තිබුණේ ඇමරිකානු ඩොලර් 8,343.50කට හෙවත් රුපියල් ලක්ෂ 25 කට ආසන්න මුදලකටයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතා බහක් ඇති වීමත් සමඟ, 2024 වසරේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සංවිධානය කරන ලද ජාත්‍යන්තර තේ සමුළුවට සමගාමීව පැවැත්වූ වෙන්දේසියේ දී "අවිස්සාවේල්ල තේ කර්මාන්ත ශාලාව" ඉදිරිපත් කළ "සිතක" තේ තොගය ඇමරිකානු ඩොලර් 8,655කට එනම් රුපියල් ලක්ෂ 26ක මුලදකට අලෙවි වී ඇති බව අවිස්සාවේල්ල තේ කර්මාන්ත ශාලාව විසින් අනාවරණය කළේය.
ඒ අනුව ඩොලර් 8,655කට අලෙවි වූ තේ තොගය ගිනස් වාර්තාවක් නොවී ඩොලර් 8,343.50කට අලෙවි වූ තේ තොගය ගිනස් වාර්තාවක් වන්නේ කෙසේද යන්න පිළීබඳව අවිස්සාවේල්ල තේ කර්මාන්ත ශාලාව විසින් ගැටලුවක් මතු තර ඇති අතර "අද දෙරණ Business" ශ්‍රී ලංකා තේ මණ්ඩලයෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කර සිටියේය.
ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසා සිටියේ, ගිනස් වාර්තාවකට යම් කිසි තේ තොගයක අලෙවිය සනිටුහන් කිරීම තේ මණ්ඩලයේ හෝ කොළඹ තේ වෙළඳුන්ගේ සංගමයේ මැදිහත් වීමෙන් සිදු නොවන අතර, එය ගැනුම්කරුවන් සහ ගිනස් බලධාරීන් විසින් සිදු කළ යුතු කාර්යයක් බවයි.
ඉදිරියේ දී මෙවැනි ගැටළුවක් ඇති වුවහොත් අදාල තේ ගැනුම්කරුවන් ඒ සම්බන්ධයෙන් ගිනස් බලධාරීන් දැනුම්වත් කර ඔවුන් හා සම්බන්ධීකරණයෙන් කරගත යුතු අතර වෙන්දේසියක දී තම තේ අලෙවි වන මිළ විකුණුම්කරුට සහතික කළ නොහැකි බවත් ගෙවිය යුතු මිල තීරණය කිරීම ගැනුම්කරු විසින් සිදු කරන අතර, එය ගිනස් වාර්තාවක් ද යන්න ගිනස් බලධාරීන් විසින් තීරණය කළ යුතු බව ද තේ මණ්ඩලය පවසා සිටියේ ය.
තව ද ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය ගිනස් බලධාරීන්ගෙන් විමසා දැනගැනීම අදාළ පාර්ශ්වවල වගකීමක් බවත් ඔවුන් වැඩි දුරටත් පවසා සිටියේ ය.
ප්‍රශ්නය
"තේ වෙන්දේසියකදී අලෙවි වූ ඉහළම මිල වාර්තා කරමින් ගිනස් ලෝක වාර්තාවක් තැබීමට පසුගිය දා "නිව් විතානකන්ද තේ කර්මාන්තශාලාව" සමත් වුණා. මෙවැනි ගිනෙස් වාර්තාවක් තැබීම සිදු වුනේ ඉතිහාසයේ පලවෙනි වතාවට ද? එසේත් නොමැතිනම් ලංකාවේ හෝ ලෝකයේ මෙවැනි ගිනෙස් වාර්තාවක් සම්බන්ධයෙන් මින් පෙර වාර්තා වෙලා තිබෙනවා ද?"
පිළිතුර
"ගිනස් වාර්තා පිහිටුවීම සම්බන්ධ ව ක්‍රියාකරනුයේ ගිනස් බලධාරීන් විසිනි. එය නව ගිනස් වාර්තාවක් ද එසේ නැතහොත් පැරණි ගිනස් වාර්තාවක් බිඳ දැමීමක් ද යන්න ඔවුන් සතු වාර්තා අනුව තීරණය කරනු ලබයි. ඒ අනුව, පුණ්‍යාධාර (charity) තේ වෙන්දේසියකදී නව විතානකන්ද කර්මාන්තශාලාවේ අලෙවි වූ තේ තොගය සම්බන්ධ ගිනස් වාර්තාව ඉහත සඳහන් කරුණු සැලකිල්ලට ගෙන ගිනස් බලධාරීන් විසින් වාර්තා කර ඇති බව පෙනී යයි."
ප්‍රශ්නය
මෙලෙස "නිව් විතානකන්ද තේ කර්මාන්තශාලාව" මෙම ගිනස් වාර්තාව තැබීමත් සමඟ ඔවුන් සිය තේ තොගය අලෙවි කළ මිලට වඩා වැඩි මිලකට "අවිස්සාවේල්ල තේ කර්මාන්තශාලාව" සිය තේ තොගය 2024 වසරේ දී අලෙවි කළ බවත්, එහි දී ඔවුන්ට කිසිදු ඇගයීමක් නොලැබුනු බවටත් ඔවුන් විසින් ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. එලෙස එම අවස්ථාවේ ඔවුන් ඇගයීමකට ලක් නොවීමට හේතුව විදිහට ඔබ දකින්නේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මැදිහත් වීමක් ඒ සඳහා සිදු නොවීම ද? එසේත් නැතිනම් සමාගම තුළින් සිදු වූ අතපසු වීමක් ද ? ඇයි ඔවුන්ට එම අවස්ථාවේ ගිනස් කමිටුව හමුවට යෑමට අවස්ථාවක් නොලැබුනේ?
පිළිතුර
"කොළඹ තේ වෙළඳුන්ගේ සංගමය හා එක් ව ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සංවිධානය කළ 2024 පුණ්‍යාධාර තේ වෙන්දේසිය ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් වාර්ෂික ව ක්‍රියාත්මක කරන ප්‍රචාරණ වැඩසටහන් අතරින් මූලික වැඩසටහනකි. එම පුණ්‍යාධාර තේ වෙන්දේසියේ දී අලෙවි වූ අවිස්සාවේල්ල තේ කර්මාන්ත ශාලාවේ තේ තොගය එම වසරේ ඔක්තෝබර් මස පවත්වන ලද කොළඹ තේ වෙළඳුන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී ද විශේෂ කමිටු රැස්වීමේ දී කුසලාන ප්‍රදානයන් සමග ඇගයීමට ලක් කරන ලදී. ගිනස් වාර්තාවකට යම් කිසි තේ තොගයක අලෙවිය සනිටුහන් කිරීම තේ මණ්ඩලයේ හෝ කොළඹ තේ වෙළඳුන්ගේ සංගමයේ මැදිහත් වීමෙන් සිදු නොවන අතර, එය ගැනුම්කරුවන් සහ ගිනස් බලධාරීන් විසින් සිදු කළ යුතු කාර්යයකි."
ප්‍රශ්නය
"ඉදිරියේ දී කිසියම් කර්මාන්තශාලාවක් විසින් කුමන හෝ තේ වෙන්දේසියක දී ඉහළම මිලක් වාර්තා කිරීමට සමත් වුණොත් මෙලෙස ගිනස් වාර්තාවක් පිහිටුවීම සඳහා ඔවුන් අනුගමනය කළ යුතු ක්‍රියාපිලිවෙත කුමක් ද?"
පිළිතුර
"යම් කිසි ගිනස් වාර්තාවක් පිහිටුවීමට අවශ්‍ය නම් එම තේ ගැනුම්කරුවන් ඒ සම්බන්ධයෙන් ගිනස් බලධාරීන් දැනුම්වත් කර ඔවුන් හා සම්බන්ධීකරණයෙන් කරගත යුතුය. වෙන්දේසියක දී තම තේ අලෙවි වන මිල විකුණුම්කරුට සහතික කළ නොහැකිය, ගෙවිය යුතු මිල තීරණය කිරීම ගැනුම්කරු විසින් සිදු කරන අතර, එය ගිනස් වාර්තාවක් ද යන්න ගිනස් බලධාරීන් විසින් තීරණය කළ යුතු ය. ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය ගිනස් බලධාරීන්ගෙන් විමසා දැනගැනීම අදාළ පාර්ශ්වවල වගකීමකි."
Video Story