May, 15, 2016
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අඛණ්ඩව 6 වන දිනයටත් පසුගිය සිකුරාදා දින ඉහළ ගිය අතර දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,679.84 ක් ලෙසින් වාර්තා විය. මෙය පූර්ව දිනයට සාපේක්ෂව ඒකක 23.72 ක හෙවත් 0.36% ක වර්ධනයකි. මෙය පසුගිය මාස 4 ක කාලය තුළ දක්නට ලැබුණු ඉහළම සියලු කොටස් මිල දර්ශක අගයයි.
මේ අනුව බලන කල, පසුගිය සතිය තුල දී පමණක් ඒකක 87.39 කින් හෙවත් 1.3% කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගොස් තිබේ.
සිකුරාදා දින වාර්තා වූ සමස්ත පිරිවැටුමේ වටිනාකම් රුපියල් මිලියන 826.69 ක්වූ අතර ඉන් දේශීය මිල දී ගැනීම් රු. මිලියන 408 ක් ලෙසත්, විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 418 ක් ලෙසත් සටහන් විය. දිනය තුළ දේශීය විකිණුම් රු. මිලියන 505.89 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 320.79 ක් විය.
රොයිටර්ස් දත්ත වාර්තාවලට අනුව වසරේ මේ දක්වා කාලය තුළ කොටස් වෙළෙඳපොළ දෛනික සාමාන්‍ය පිරිවැටුම රු. මිලියන 787.5 කි. එසේම වසර ආරම්භයේ සිට 2016 මැයි 13 දක්වා කාලය තුළ රු. බිලියන 3.88 ක වටිනාකමකින් යුතු කොටස් විකිණීමට විදේස් ආයෝජකයින් කටයුතු කර ඇත.
Video Story