ගීතා ගෝපිනාත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා අස්වෙයි

    July, 22, 2025

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත් මහත්මිය අගෝස්තු මස අවසානයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ඉවත් වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ඊයේ (21) නිවේදනය කර සිටියා ය.

    ඇය එලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිය රාජකාරියට සමුදෙන්නේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක ලෙස කටයුතු කිරීමටයි.

    ගීතා ගෝපිනාත් මහත්මිය 2019 වසරේ ජනවාරි මාසයේදී ප්‍රධාන ආර්ථික විද්‍යාඥවරියක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සම්බන්ධ වී ඇති අතර 2022 වසරේ ජනවාරි මාසයේදී පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරිය ලෙස උසස් වීම් ලබා ඇත.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි, ඉතිහාසයේ ප්‍රථම කාන්තා ප්‍රධාන ආර්ථික විද්‍යාඥවරිය වන්නේ ද ගෝපිනාත් මහත්මිය යි.

    ගීතා ගෝපිනාත් මහත්මිය ඇයගේ මේ නික්මයාම පිළිබඳව පවසා සිටියේ,  ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය හා සාර්ව ආර්ථික විද්‍යාවේ පර්යේෂණ මායිම ඉදිරියට ගෙන යාමටත්, ඉදිරි පරම්පරාවේ ආර්ථික විද්‍යාඥයින් පුහුණු කිරීමට තමා ඉදිරියේ දී බලාපොරොත්තු වන බවයි.