July, 27, 2016
සිව්වැනි තරඟ චක්‍රය දියත් කිරීම 2016 / 2017
ගෘහ නිර්මාණයේ විශිෂ්ටත්වය උදෙසා පිරිනැමෙන ජෙෆ්රි බාවා තිළිණ ප්රදානයේ සිව්වැනි තරඟ චක්‍රය, බෙන්තොට ලුනුගඟ පිහිටි ඓතිහාසික ජෙෆ්රි බාවා උද්‍යාන පරිශ්‍රයට යාබදව නැවත ස්ථානගත කොට, ප්‍රතිස්ථාපනය කල ඊනා ද සිල්වා නිවස්නයේදී පසුගිය දා (23) දියත් කෙරිණ.
මේ වසරේ තිළිණ කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවාගේ 97 වැනි ජන්මදිනය සලකුණු කරයි. 2007/2008, 2010/2011, 2013/2014 යන තිළිණ චක්‍ර තුනක් මීට පෙර සම්පුර්ණ කෙරිණ.
සිව්වැනි චක්‍රයේ තිළිණ ප්රදානය සඳහා තරඟකරුවන් වෙතින් දැන් අයදුම්පත් භාරගැනේ. නිර්දේශිත අයදුම්පත් මඟින් ඒවා ඉදිරිපත් කලයුතු අතර, අයදුම්පත් ජූලි 23 වැනිදා සිට සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා ජෙෆ්රි බාවා භාරයේ කාර්යාලයෙන් ලබාගත හැක. අයදුම්පත් භාරගැනීම 2016 නොවැම්බර් 01 වැනිදායින් අවසන් වේ.
තිළිණ ප්රදානය 2007 වසරේදී සංකල්පයක් ලෙස ඉදිරිපත් කෙරුණු අතර, නූතන ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පය පිළිබිඹු කරන විශිෂ්ටයන් පිළිගැනීම, ඇගයීම සහ තිළිණ පිරිනැමීම එහි අරමුණ විය. එහි මුල් චක්‍ර තුන අතිශයෙන් ජනප්‍රිය වූ අතර, පුළුල් අවධානයක් ඊට යොමුවූයේ කුසලතා සපිරි ගෘහ නිර්මාණ ශිල්පීන් රැසක් ඒ සඳහා ඉදිරිපත් වෙමිනි. ඒ සඳහා මේ වසරේදී ඊටත් වඩා උනන්දුවක් පළවනු ඇති බව ජෙෆ්රි බාවා භාරයේ විශ්වාසයයි.
ජෙෆ්රි බාවා තිළිණ මෙරට සේවයේ නිරත සියළු ගෘහ නිර්මාණ ශිල්පීන්ට විවෘත වන අතර, ජයග්‍රාහකයන්ට සුවිශේෂී පිළිගැනීමක් සහ තත්වයක් ඇතිකිරීමට අදහස් කෙරේ.
උපරිම පරාසයක ගෘහ නිර්මාණ සැලසුම් ඉදිරිපත් කිරීම සඳහා ඔවුන් දිරිගන්වන අතර, ප්‍රමාණය, වර්ගය ස්වභාවය හෝ පිහිටීම අනුව නිර්මාණ වර්ග නොකෙරේ.
2006 වසරේ ජූලි 23 වැනිදා සිට 2016 වසරේ ජූලි 23 වැනිදා දක්වා වූ දසවසරක කාලය තුල, ශ්‍රී ලංකාවේ ඉදිකළ ව්‍යාපෘති තරඟය සඳහා සුදුසුකම් ලබන අතර, ඒවා අවම වශයෙන් මාස 9 කට නොඅඩු කාලයක් භාවිතා කොට පදිංචි වී සිටිය යුතු වේ. පසුගිය තිළිණ චක්‍ර වලදී ස්ථාන හිමිකර නොගත් නිර්මාණ ද මෙහිදී නැවත ඉදිරිපත් කල හැක.
තිළිණ ප්රදානය මඟින් ජෙෆ්රි බාවාගේ ගෘහ නිර්මාණ ශිල්පී නිර්මාණ සහ රටාවන් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා දිරිගැන්වීමක් සිදු නොකෙරේ. ඒ වෙනුවට ගෘහ නිර්මාණ ශිල්පයේ අභියෝග ජයගැනීමට සමත් නව උපක්‍රම සහ නිර්මාණ ප්‍රවර්ධනය කිරීමට ජෙෆ්රි බාවා භාරය අදහස් කරයි.
සිව්වැනි චක්‍රයේ ජයග්‍රාහකයා, ජෙෆ්රි බාවාගේ 98 වැනි ජන්ම සංවත්සරයට සමගාමීව 2017 වසරේ ජූලි 23 වැනිදා පැවැත්වෙන අලංකාර උත්සවයකදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. ජයග්‍රාහකයන් සහ ඔවුන්ගේ නිර්මාණ සැමරෙන මෙම උත්සවයේදී පසුගිය වසර වලදී මෙන් ජයග්‍රාහකයා වෙත රුපියල් මිලියනයක් පිරිනැමේ.
ජෙෆ්රි බාවා සහ ලුනුගඟ භාරයන්හි භාරකරු වෝඩ් බෙලින්, සිංගප්පුරුවේ ඩබ්ලිව් ආකිටෙක්ස්හි ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී වේ වේ, ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පී ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ගෘහ නිර්මාණ ශිල්පී ඩී. එච්. විජේවර්ධන සහ රෑන්කින් ලීව්හි සහ නූතන කලා ගෘහ නිර්මාණ සහ සැලසුම් පිළිබඳ ශ්‍රී ලංකා සංරක්ෂණාගාරයේ පුරෝගාමී අධ්‍යක්ෂිකා ශාර්මිණී පෙරේරා, 2016 / 2017 තිළිණ චක්‍රයේ විනිසුරුවන් ලෙස කටයුතු කරයි.
පසුගිය තිළිණ ප්‍රදාන චක්‍ර තුන සඳහා නිර්මාණ ඉදිරිපත් කිරීමේ ප්‍රතිචාරය මෙන්ම ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳ ජෙෆ්රි බාවා භාරය අතිශය තෘප්තිමත්ය. අවසන් වටයට තෝරාගැනුනු ව්‍යාපෘති දීප්තිමත් නිර්මාණශීලිත්වයක් පිළිබිඹු කෙරෙන, සිත්ගන්නා සුළු අන්දමින් නිමවූ ඉහල ප්රමිතීන් සහිත නියත වශයෙන්ම ජෙෆ්රි බාවාගේ ද අවධානයට ලක්විය හැකිව තිබූ නවමු නිර්මාණ ලෙස හැඳින්විය හැක.
පසුගිය තිළිණ ප්‍රදාන චක්‍ර තුනේදී මෙරට ගෘහ නිර්මාණ ක්ෂේත්රයේ නව මංපෙත් හෙලිකල පුරෝගාමී ගෘහ නිර්මාණ ශිල්පීන් කීපදෙනෙකුම තිළිණ හිමිකර ගන්නා ලදී. ගෘහ නිර්මාණ ශිල්පී ප්‍රදීප් කොඩිකාර තංගල්ලේ ඉදිකළ කජු ගෙදරට 2013/2014 වසරේ ක්‍රියාත්මක වූ තුන්වන තිළිණ චක්‍රයේ ජයග්රාහි තිළිණය හිමිවිය. 2010/2011 දෙවැනි තිළිණ චක්‍රයේ ජයග්‍රහණය කොළඹ 05, සරත් අබේරත්න නිවසේ නිර්මාණය උදෙසා ගෘහ නිර්මාණ ශිල්පී තිසර තානාපති හිමිකර ගන්නා ලදී. 2007 /2008 ජෙෆ්රි බාවා ප්‍රථම තිළිණ චක්‍රයේ ජයග්‍රාහකයන් දෙදෙනෙකි. ගෘහ නිර්මාණ ශිල්පී ලලිත් කොල්ලුරේ නිර්මාණය කල බෝල්ඩර් ගාඩ්න් හෝටලයට සහ ගෘහ නිර්මාණ ශිල්පී ශ්‍යාමික ද සිල්වා නිමැවූ නලීන් ඉන්ද්‍රසේන නිවසට එවර ජෙෆ්රි බාවා තිළිණය හිමිවිය.
ජෙෆ්රි බාවා තිළිණ ප්රදානය අගාඛාන් තුමා විසින් 1977 වසරේ ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ කරන ලද කීර්තිමත් අගාඛාන් තිළිණ ප්රදානය ආකෘති කොට ගෙන තිබේ. එමඟින් සංවර්ධනය වෙමින් පවත්නා රටවල ගෘහ නිර්මාණ ශිල්පය කෙරෙහි දැවැන්ත බලපෑමක් ඇතිකළ බව කිව යුතුය. 2001 වසරේ පැවති අගාඛාන් තිළිණ ප්රදානයේදී ගෘහ නිර්මාණ ක්ෂේත්රයේ ජිවිත කාලීන ජයග්‍රහණ සහ මෙහෙවර උදෙසා වන සභාපතිවරයාගේ විශේෂ තිළිණය අසහාය ගෘහ නිර්මාණ ශිල්පී දේශමාන්‍ය ජෙෆ්රි බාවා වෙත පිරිනැමිණ.
ජෙෆ්රි බාවා පිළිබඳව
දේශමාන්‍ය ජෙෆ්රි බාවා විසිවන සියවසේ ශ්‍රෙෂ්ඨතම ආසියානු ගෘහ නිර්මාණ ශිල්පියෙකු මෙන්ම ඔහුගේ සමයේ වඩාත්ම කීර්තිමත් ශ්‍රී ලාංකිකයකු ලෙස සැලකේ. කුසලතා සපිරි සිය කුඩා සහායක කණ්ඩායම මෙන්ම නිර්මාණශීලි හිතවතුන් සහ දායක කැල සමඟ ඔහු පසුගිය සියවසේ දෙවැනි භාගයේදී නව නිදහස් ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි සඳහා පුර්වාදර්ශයක් තැනීය. දශක හතරක් පමණ දිවෙන සිය නිර්මාණ සමය තුල ජෙෆ්රි බාවා රටවල් කීපයක හෝටල් 30 ක් පමණ නිර්මාණය කල අතර, ඉන් 12 ක් ශ්‍රී ලංකාවේ ඉදිකර තිබේ. බෙන්තොට බීච් හෝටලය සහ සෙරන්ඩිබ් හෝටලය එලෙස දිවයිනේ ඉදිකල ප්‍රථම විශේෂිත සංචාරක හෝටල් වන අතර, අනිකුත් හෝටල් ඉදිකිරීම් සඳහා මාර්ගෝපදේශයක් විය. එම හෝටල් දෙකම ලොව පුරා දිගහැරුණු ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහල නැංවීමට අසීමිත දායකත්වයක් දැක්වීය. ශ්‍රී ලංකාව පිළිබඳ මාර්ගෝපදේශ ග්රන්ථ කිහිපයක ඔහුගේ ගොඩනැගිලි නිර්මාණ අනිවාර්යයෙන් නැරඹිය යුතු ස්ථාන ලෙස නම් කර ඇති අතර, ඔහුගේ හෝටල් ලොව හොඳම හෝටල් නිර්මාණ ලෙස වර්ගීකරණය කර ඇත.
1960 දශකය තුල නිමැවූ නව පෞද්ගලික නිවාස පෙළ තුලින් ජෙෆ්රි බාවා නූතනත්වය සම්ප්‍රදායන් සමඟ සංකලනය කිරීමට සමත් විය. ඔහු නව ආකාරයේ පාසැල් සහ අනාථ නිවාස, කාර්යාලීය ගොඩනැගිලි සහ කර්මාන්තශාලා, ආගමික ගොඩනැගිලි සහ විශ්ව විද්‍යාල නිර්මාණය කල අතර, සමක මෝසම් කාලගුණය තුල අධ්‍යනය කිරීම, වැඩ කිරීම සහ නැමදිම, සඳහා නව ආකාරයන් හඳුන්වාදීමට පුරෝගාමී විය. ඔහු මෙරට ප්රජාතන්ත්රවාදයේ වඩාත් ප්‍රබල වූ සංකේතය වන නව පාර්ලිමේන්තුව 1982 වසරේ කෝට්ටේ ඉදිකරමින් ශ්‍රී ලාංකිකයන් වෙත උරුම කර දුනි.
විනිසුරු මඩුල්ල පිළිබඳව
වෝඩ් බෙලින්
වෝඩ් බෙලින්, ජෙෆ්රි බාවා සහ ලුනුගඟ භාරයන්හි භාරකරු වෙයි. ඔහු 2016 / 2017 තිළිණ චක්‍රයේ විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇත. ඔහු ප්‍රංශයේ ටුටාල් සමාගමේ අලෙවි සහ තාක්ෂණික සේවා කළමනාකරුවෙකු වන අතර, කටාරයේ පදිංචිව සිට ටුටාල් සහ කටාරය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවල නිෂ්පාදන ලොව පුරා අලෙවි කරයි.
ගෘහ නිර්මාණ ශිල්පී මොක් වේ වේ
මොක් වේ වේ සිංගප්පුරුවේ W. Architects හි ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා වෙයි. ඔහුගේ ගෘහ නිර්මාණ ව්‍යාපෘති දේශීය මෙන්ම ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වී තිබේ. ඔහු සිංගප්පුරු විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරයාද වේ. ඔහු 2012 වසරේ පැවති ලෝක ගෘහ නිර්මාණ සැණකෙළියේ ජූරි සභිකයකු ලෙසද කටයුතු කර ඇත.
ගෘහ නිර්මාණ ශිල්පී ඩී. එච්. විජේවර්ධන
ඩී. එච්. විජේවර්ධන ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පී ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා වන අතර, ආයතනයේ වෙනත් ජ්‍යෙෂ්ඨ තනතුරු රැසක්ම හොබවා තිබේ. ARCASIA, SAARCH සහ UIA යන ජාත්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පී සම්මේලන වලදී ඔහු ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පී ආයතනය නියෝජනය කර ඇත.ඔහු මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයන්හි බාහිර කථිකාචාර්යවරයෙකුද වෙයි. ඔහු කොළඹ කේන්ද්‍ර කොටගත් බහු කාර්ය උපදේශක සමාගමක් වන ඩී. එච්. විජේවර්ධන ඇසෝසියේට්හි කළමනාකරණ පාර්ශ්වකරුද වේ.
ශ්‍යාමිණී පෙරෙයිරා
ශ්‍යාමිණී පෙරෙයිරා, රෑන්කින් ලීව්ස් සහ ශ්‍රී ලංකා නූතන කලා, ගෘහ නිර්මාණ සහ සැලසුම් සංරක්ෂණයේ පුරෝගාමී අධ්‍යක්ෂවරියයි. 2014 වසරේ කැනඩාවේ ටොරොන්ටෝ හි අගාඛා කෞතුකාගාරයේ ආරාධිත භාරකාරිනියක වු ඇය අබ්රාජ් කැපිටල් කලා තිළිණය 2010 වසරේදී ජයග්‍රහණය කරන ලදී. සිංගප්පුරුවේ ප්‍රථම ගෘහ නිර්මාණ සංසදය පිහිටුවීමට දායක වූ ඇය දකුණු ආසියානු නූතන කලාවන් පිළිබඳව පසුගිය වසර 20 පුරා දේශන පවත්වා ඇති අතර, ග්රන්ථ කීපයක් ද රචනා කර තිබේ. ඇය, කොළඹ, යාපනය සහ නිව්යෝක්හි වාසය කරමින් නිර්මාණකරණයේ නිරත වෙයි.
ජෙෆ්රි බාවා භාරය පිළිබඳව
නිසි ගෘහ නිර්මාණ සැලසුම් ශ්‍රී ලාංකේය ජනතාවගේ යහපත උදෙසා වැදගත් වන අතරම ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ලොවට විදහාපාන ආකාරය එයින් තීරණය කෙරෙන බව ජෙෆ්රි බාවා භාරය ප්‍රවර්ධනය කෙරෙන සංකල්පයකි. ගෘහ නිර්මාණ ශිල්පීන් පමණක් නොව එම නිර්මාණ පරිසරය තුල ජීවත්වන සහ සේවය කරන සියල්ලන් ගෘහ නිර්මාණ සැලසුම් පිළිබඳ දැනුවත් කිරීමට ජෙෆ්රි බාවා භාරය සැලසුම් කරයි.
වැඩිදුර තොරතුරු සඳහා අමතන්න
ප්‍රියංකා තිසෙවරසිංහ
කළමනාකාරිනී - ජෙෆ්රි බාවා භාරය
දුරකථන : 4337335 / ඊ මේල් - admin@gbtrust.net