ගෝලීය ඉංජිනේරු ප්‍රවීණයන්ගේ සහභාගීත්වයෙන් STC TechSphere 2026 සාර්ථක නිමාවෙයි

    March, 25, 2026

    ශ්‍රී ලංකාවේ කාර්මික ඉංජිනේරු විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Swedish Trading Company (Private) Limited ආයතනය විසින් සංවිධානය කළ ‘STC TechSphere 2026’ සමුළුව පසුගියදා කොළඹ Shangri-La හෝටල් පරීශයේ දී උත්කර්ෂවත් අයුරින් නිමාවට පත්විය. ක්ෂේත්‍රයේ දෙස් විදෙස් ප්‍රවීණයන්, ඉංජිනේරුවන්, පාරිභෝගිකයින්, ව්‍යාපාරිකයන් සහ ජාත්‍යන්තර නියෝජිතයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වූ මෙම අවස්ථාව, තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරි ගමන පිළිබඳ සංවාදයකට එහි නව චින්තනයකට මග පාදා දුන්නේය.

    “පාරම්පරික විශ්වාසය ගොඩනගන- දසවසරක විශ්වාසය” (Legacy of Excellence – Building on Decades of Trust) යන තේමාව යටතේ පැවැත්වුණු මෙම සමුළුව උත්සවය සුවිශේෂී සන්ධිස්ථාන කිහිපයක් සනිටුහන් කළේය. මෙහිදී ලොව සුපතල ඉංජිනේරු සන්නාමයන් වන Atlas Copco සහ SKF සමඟ STC පවත්වාගෙන යන වසර 40කට අධික සේවාව උසස් ඇගයීමට ලක් වූ අතර, සම්පීඩිත වායු මැනීමේ සහ නිරීක්ෂණය කිරීමේ විසඳුම් (compressed air measurement and monitoring) පිළිබඳ විශේෂඥතාවක් ඇති ජර්මනියේ SUTO iTEC සමාගමෙහි STC හි නවතම සහකරු ලෙස නිල වශයෙන් හඳුන්වා දෙනු ලැබීය.

    1968 වසරේදී දූරදර්ශී ව්‍යවසායකයෙකු වූ අභාවප්‍රාප්ත චන්ද්‍ර සේනානායක මහතා විසින් ආරම්භ කරන ලද Chandra Senanayake Holdings, අද වන විට බහුවිධ ව්‍යාපාරික ජාලයක් දක්වා වර්ධනය වී ඇත. 1982 වසරේදී ස්වීඩනයේ Elof Hansson Trading House සමඟ ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ආරම්භ කරන ලද Swedish Trading Company, මේ වන විට නිෂ්පාදන, ඉදිකිරීම්, ගුවන් සේවා, සමුද්‍රීය, කඩදාසි සහ පල්ප්, ගිනි ආරක්ෂණ සහ විශේෂිත වාහන ඇතුළු ක්ෂේත්‍ර රාශියක්ට සේවය කරන විශ්වාසදායක ඉංජිනේරු හවුල්කරුවෙකු දක්වා වර්ධනය වී ඇත.

    SKF, Atlas Copco සහ SUTO iTEC යන ජාත්‍යන්තර සමාගම්වල ප්‍රවීණයන් විසින් පවත්වන ලද නවතම තාක්ෂණික ඉදිරිපත් කිරීම් මෙහිදී සුවිශේෂී වූ අතර, බලශක්ති කාර්යක්ෂම සම්පීඩිත වායු විසඳුම්, යන්ත්‍රෝපකරණවල  කාලීන නඩත්තු කටයුතු කල්තියා හඳුනාගැනීමේ ක්‍රමවේද (Predictive Maintenance), විශ්වසනීය ඉංජිනේරු ශිල්ප ක්‍රම සහ Industry 4.0 තාක්ෂණයට අදාළ ඩිජිටල් නිරීක්ෂණ පද්ධති කෙරෙහි එහිදී වැඩි අවධානයක් යොමු විය. එමෙන්ම දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා අලුතින් හඳුන්වා දුන් උසස් තාක්ෂණික මෙවලම් ප්‍රදර්ශනය කිරීම සඳහා ද ප්‍රදර්ශන කුටියක් මෙහිදී විශේෂයෙන් දැකගත හැකි විය. මෙම නව තාක්ෂණික සොයාගැනීම සම්බන්ධ තොරතුරු තරුණ ඉංජිනේරුවන්ගේ සහ ව්‍යවසායකයින්ගේ දැඩි අවධානයටත්, උනන්දුවටත්, පැසසුමටත් ලක්විය.

    මෙම වැඩසටහනට සමගාමීව පැවැත්වුණු විශේෂ සාකච්ඡා මණ්ඩපය සඳහා Swedish Trading Company හි ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ (ඉංජිනේරු) ලසිත් සේනානායක මහතා, SKF ආයතනයේ ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව භාර කාර්මික අලෙවි ප්‍රධානී චේතේන්ද්‍රදීප් සිං මහතා , Atlas Copco සිංගප්පූරු සහ මැලේසියානු කලාපීය සාමාන්‍යාධිකාරී කාලිඩ් ෂෙයික් මහතා, SUTO iTEC නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී තෝමස් ෆිෂර් මහතා මෙන්ම ජාතික නිෂ්පාදන මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ බලශක්ති විශේෂඥ සහ මෙහෙයුම් කළමනාකරු ඉංජිනේරු රුවන් විජේමාන්න යන පිරිස සහභාගී වූහ. ගෝලීය ඉංජිනේරු විසඳුම් භාවිතයෙන් ශ්‍රී ලංකාවේ කාර්මික අංශයේ ඵලදායිතාව, තිරසාරභාවය සහ තරඟකාරිත්වය ඉහළ නැංවිය හැකි ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි. දිනෙන් දින දියුණුවන කර්මාන්ත අංශයේ යෝධ සමාගම් 3ක් එකට හමුවීම, කාර්‍යක්ෂම, ඉලක්ක හබායන, තරඟකාරීත්වය උරුම කරගත් ව්‍යවසායකයින් සහ තරුණ ඉංජිනේරුවන්ට අනගි අවස්ථාවක් වූ බව සියල්ලන්ගේම නිගමනයයි.

    එහිදී අදහස් දැක්වූ Swedish Trading Company හි ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ ලසිත් සේනානායක මහතා මැතිතුමන්ගේ අවධාරණය කළේ, ලෝක මට්ටමේ තාක්ෂණය, ශක්තිමත් අලෙවියෙන් පසු සේවාව සහ අඛණ්ඩ තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම හරහා ශ්‍රී ලාංකේය කර්මාන්ත ක්ෂේත්‍රයට සහය වීමට තම ආයතනය සැමවිටම කටයුතු කරන බවයි. එමගින් තම සමාගම හුදෙක් සැපයුම්කරුවෙකු පමණක් නොව, කර්මාන්ත ක්ෂේත්‍රයේ උපායමාර්ගික සහකරුවෙකු සහ දැනුම් කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත වී ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    මෙම වැඩසටහන පැවැත්වුණු දිනය සමූහයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත චන්ද්‍ර සේනානායක මහතාගේ ජන්ම දිනයට සමගාමී වීම එම සන්ධ්‍යාවේ වඩාත් සුවිශේෂී මෙන්ම සංවේදී අවස්ථාව බවට පත් විය. එමගින් සමාගම සතු ප්‍රබල පාරම්පරික වටිනාකම් සහ පරම්පරා කිහිපයක් පුරා විහිදුණු ව්‍යාපාරික උරුමය තවදුරටත් තහවුරු කෙරිණි.

    Atlas Copco, SKF, Volvo සහ SUTO iTEC වැනි ගෝලීය සන්නාම සමඟ වසර 50 කට ආසන්න කාලයක් පවත්වාගෙන එන විශ්වාසය සමඟින්, ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කිරීමටත්, නව තාක්ෂණය හඳුන්වා දීමටත් Swedish Trading Company විශාල දායකත්වයක් ලබා දෙයි.