March, 10, 2026
මැදපෙරදිග හටගෙන ඇති යුධමය තත්ත්වය හමුවේ සිය සියලුම ගුවන් ගමන් ගාස්තු ඉහළ දමා ඇති බවත්, ඉදිරියේ දී තව දුරටත් මිල සංශෝධනයන් සිදු කිරීමට ඉඩ ඇති බවත් Air New Zealand ගුවන් සමාගම පවසයි.
මැදපෙරදිග යුධමය තත්ත්වය ඇති වීමට පෙර ගුවන් යානා ඉන්ධන බැරලයක් ඇමෙරිකානු ඩොලර් 85 - 90 අතර මිලක පැවති බවත් මේ වන විට එය ඇමෙරිකානු ඩොලර් 150 - 200 අතර මිලක් දක්වා වාර්තාගත ලෙස ඉහළ යාමක් පෙන්නුම් කරන බවත් නවසීලන්තයේ ජාතික ගුවන් සේවය පවසයි.
ඉරානයට එරෙහිව ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව දියත් කරනු ලබන යුධමය ගැටුම මෙලෙස තෙල් මිල ඉහළ යාමට හේතු වී ඇති අතර ගෝලීය සංචාරක කටයුතු වලට මෙන්නම ගුවන් ගමන් වලට ද මෙමගින් බලපෑම් එල්ල වී ඇත.
Air New Zealand ගුවන් සේවය විදෙස් මාද්‍ය වෙත සිය අදහස් දක්වමින් පවසා ඇත්තේ, මේ වන විට සිය දේශීය ගුවන් ගමන් ගාස්තු NZ$10කින්, කෙටි දුර ජාත්‍යන්තර ගුවන් ගමන් ගාස්තු NZ$20කින් සහ දිගු දුර ජාත්‍යන්තර ගුවන් ගමන් ගාස්තු NZ$90 කින් ඉහළ නැංවීමට කටයුතු යොදා ඇති බවයි.
ගුවන් අවකාශය වසා දැමීම සහ ධාරිතා සීමාවන් හේතුවෙන් ආසියා-යුරෝපීය ගුවන් ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති අතර, මැදපෙරදිග යුධමය තත්ත්වය ආරම්භ වීමෙන් පසු මෙලෙස ගුවන් ගමන් ගාස්තු ඉහළ දැමීමට කටයුතු කළ පළමු ගුවන් සමාගම් අතර Air New Zealand ගුවන් සේවය වාර්තා වෙයි.
Video Story