ගෝලීය මෝටර් රථ දැවැන්තයෙකු වන “Dongfeng” Euro Motors සමඟ එක්ව ශ්‍රී ලංකාවට පිවිසෙයි

    February, 20, 2026

    Dongfeng ට්‍රක් රථ මෙරටට නිල වශයෙන් හඳුන්වා දීමත් සමඟ ශ්‍රී ලංකාවේ වාණිජ මෝටර් රථ ක්ෂේත්‍රය වෙත ප්‍රබල නව තරඟකරුවෙකුගේ සම්ප්‍රාප්තිය පෙබරවාරි 17වැනිදා Waters Edge හෝටල් පරිශ්‍රයේදී සනිටුහන් විය. Euro Motors සහ Dongfeng Motor Corporation අතර ඇති කරගත් උපායමාර්ගික සහයෝගීතාවයක් හරහා සිදු කෙරුණු මෙම හඳුන්වා දීම, දිවයින පුරා විසිරී සිටින ව්‍යාපාරිකයින් වෙත ඉහළ වටිනාකමකින් යුත් කාර්යක්ෂම ප්‍රවාහන විසඳුම් ලබා දීමේ වැදගත් පියවරකි.

    ආසියාව, අප්‍රිකාව, මැදපෙරදිග, යුරෝපය සහ ලතින් ඇමරිකාව ඇතුළු මහාද්වීප හයක් පුරා රටවල් 100කට අධික සංඛ්‍යාවක ව්‍යාප්ත වී ඇති Dongfeng සන්නාමය දැන් ශ්‍රී ලංකාවේද ලබා ගත හැකිය. Dongfeng සමාගම මේ වන විට ලොව පුරා වාහන මිලියන 15කට අධික සංඛ්‍යාවක් අලෙවි කර ඇති අතර, එය ඔවුන්ගේ නිෂ්පාදන කෙරෙහි පවතින දිගුකාලීන ස්ථාවරත්වය සහ ගෝලීය පිළිගැනීම පිළිබඳ මනා සාක්ෂියකි. ආසියාව, අප්‍රිකාව, මැදපෙරදිග සහ යුරෝපය පුරා විහිදුණු ශක්තිමත් ගෝලීය පදනමක් මෙම සමාගම සතුය. උසස් ඉංජිනේරු තාක්ෂණය, කල්පැවැත්ම සහ පිරිවැය කාර්යක්ෂමතාවය සඳහා ප්‍රසිද්ධියක් උසුලන Dongfeng, මුදලට සරිලන වටිනාකමක් ලබා දෙන අතරම, දැඩි මෙහෙයුම් අවශ්‍යතාවලට ගැළපෙන වාහන නිෂ්පාදකයෙකු ලෙස ජාත්‍යන්තර කීර්තියක් දිනා සිටී.

    Euro Motors සහ Dongfeng අතර පවතින මෙම හවුල්කාරිත්වය මෝටර් රථ ක්ෂේත්‍රය පිළිබඳ ඔවුන් සතු මනා පළපුරුද්ද මත ගොඩනැගී ඇත. මෝටර් රථ වෙළෙඳාම සම්බන්ධයෙන් වසර 40කට අධික අත්දැකීම් සහ ශ්‍රී ලංකාව තුළ ලෝක ප්‍රකට වාණිජ වාහන සන්නාමයන් වසර 20කට වැඩි කාලයක් සාර්ථකව කළමනාකරණය කර ඇති Euro Motors සමාගම, අසමසම වෙළෙඳපොළ අවබෝධයක් සහ අලෙවියෙන් පසු සේවා හැකියාවක් මෙම සහයෝගීතාවයට එක් කරයි. ඉන්දියානු සහ ජපාන සන්නාමයන් මූලික වී ඇති මෙරට වාණිජ වාහන වෙළෙඳපොළ තුළ විශ්වසනීය සහ විකල්පයක් ලෙස Dongfeng ට්‍රක් රථ ස්ථාපිත කිරීම මෙම දෙපාර්ශවයේම පොදු දැක්මයි.

    ඕනෑම මට්ටමක ව්‍යාපාරික අවශ්‍යතාවක් සපුරාලිය හැකි පුළුල් පරාසයක වාණිජ වාහන මාදිලි රැසක් Euro Motors විසින් හඳුන්වා දෙනු ලබන Dongfeng නිෂ්පාදන පෙළට ඇතුළත් වේ. මෙය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සිට මහා පරිමාණ වාහන සංඛ්‍යාවක් මෙහෙයවන දැවැන්ත සමාගම් දක්වා වූ සියලු දෙනාට එකසේ ගැළපෙන අතර, සැපයුම් සේවා, ඇඟලුම්, ඉදිකිරීම්, කෘෂිකාර්මික, නිෂ්පාදන සහ පොදු සේවා වැනි විවිධ ක්ෂේත්‍ර රැසක ප්‍රවාහන අවශ්‍යතා සඳහා මනා සහයක් ලබා දෙයි. මේ හරහා ව්‍යාපාරිකයින්ට තමන්ගේ මෙහෙයුම් පරිමාණය, බෙදාහැරීමේ රටාව සහ බර පැටවීමේ ධාරිතාව මත පදනම්ව වඩාත් සුදුසු ට්‍රක් රථ තෝරා ගැනීමට පුළුල් අවස්ථාවක් හිමි වේ.

    Dongfeng නිෂ්පාදනවල මූලික පදනම වන්නේ වැය කරන මුදලට සරිලන උසස් වටිනාකමක් පාරිභෝගිකයාට ලබා දීමයි. ඉහළ අශ්වබලයක්, ව්‍යවර්ථයක් (torque) සහ වැඩි බරක් රැගෙන යාමේ හැකියාව සහිත උසස් ඉංජිනේරු තාක්ෂණයෙන් මෙම සෑම වාහනයක්ම නිමවා ඇති අතර ඒවායේ හසුරුවීමේ පහසුව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට කටයුතු කර ඇත. තවත් සුවිශේෂී කරුණක් වන්නේ මෙහි ඇති ඉඩකඩ සහිත කැබින් රථය, සුවපහසු ආසන සහ නවීන ආරක්ෂණ විශේෂාංගයන් හරහා ජපාන වාණිජ වාහනවලට සමාන රිය ධාවන අත්දැකීමක් වඩාත් සහනදායී මිලකට ලබා දීමයි.

    පාරිභෝගිකයින්ගේ විශ්වාසය තහවුරු කරමින්, Euro Motors විසින් දිවයින පුරා විහිදුණු සේවා ජාලයක් සහ අමතර කොටස් ලබා දීමේ පහසුකම් Dongfeng වාහන සඳහා සලසා දී තිබේ. මෙය වාහන අලුත්වැඩියාව සඳහා ගතවන කාලය අවම කර දිගුකාලීන මෙහෙයුම් කාර්යක්ෂමතාව සහතික කරයි. දැනටමත් Dongfeng වාහන භාවිත කරන පාරිභෝගිකයින් පවසන්නේ මෙමඟින් තම ව්‍යාපාරික ඵලදායිතාව ඉහළ ගොස් ඇති අතර බෙදා හැරීමේ පිරිවැය අඩු කර ගැනීමටද හැකියාව ලැබී ඇති බවයි.

    වාණිජ වාහන ක්ෂේත්‍රය පිළිබඳව පාරිභෝගිකයා තුළ පවතින විශ්වාසය සහ අපේක්ෂාවන් නව මානයකට ගෙන යාමට මෙම හවුල්කාරිත්වය කැපවී සිටින බව Euro Motors හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රවීන්ද්‍ර සේනාරත්න මහතා අවධාරණය කළේය. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ පැවසීය. "Dongfeng සතු ජාත්‍යන්තර කීර්තිය සහ අසමසම ක්‍රියාකාරීත්වය සමඟ රථ වාහන ක්ෂේත්‍රයේ Euro Motors සතු දශක ගණනාවක දේශීය අත්දැකීම් මෙහිදී මනාව මුසුවී තිබෙනවා. අපගේ අරමුණ වන්නේ ගුණාත්මකභාවයෙන් ඉහළ, සැබෑ වටිනාකමක් සහිත බුද්ධිමත් සහ වඩාත් කාර්යක්ෂම ප්‍රවාහන විසඳුම් මඟින් ලාංකීය ව්‍යාපාරික ක්ෂේත්‍රය සවිබල ගැන්වීමයි."

    Dongfeng ට්‍රක් රථ හඳුන්වා දීම හරහා ශ්‍රී ලංකාවේ ප්‍රවාහනය මත පදනම් වූ ආර්ථිකය තුළ ඉහළ වටිනාකමක්, විශ්වසනීයත්වයක් සහ ව්‍යාපාරික විශ්වාසයක් ලබා දෙන සන්නාමයක් ලෙස Dongfeng ස්ථාපිත කිරීමත් Euro Motors හි මූලික අරමුණයි.