ගෝලීය වෙළඳපොළ ප්‍රතිපත්ති සහ ආර්ථික අවිනිශ්චිතතාවයන් මෙරට ආර්ථිකයට බලපෑම් ඇති කිරීමේ අවදානමක් – IMF

    July, 25, 2025

    ශ්‍රි ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම (EFF) පිළිබඳ පස්වන සමාලෝචනය එළබෙන සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂිකා ජුලි කොසැක් මහත්මිය පවසයි.

    ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව පවසා සිටියා ය.

    ශ්‍රි ලංකාවේ ආර්ථික තත්ත්වය ධනාත්මකව පැවතියද ගෝලීය වෙළඳපොළ ප්‍රතිපත්ති සහ ආර්ථික අවිනිශ්චිතතාවයන් මෙරට ආර්ථික දැක්මට අවදානම් තත්ත්වයක් ඇති කිරීමට හැකි බව ද ජූලි කොසැක් මහත්මිය මෙහිදි අවධාරණය කර සිටියා ය.

    පස්වන සමාලේචනයේදී මෙම සාධක ඇගයීමට ලක් කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් මෙරට බලධාරින් සමඟ සාකච්ඡා කිරීමට ද බලාපොරොත්තු වන බව එහි දී අනාවරණය විය.

    තව ද ගෝලීය වෙළඳපොළ සහ ආර්ථික අවිනිශ්චිතතාවයන් ගෙන් ඇතිවිය හැකි බලපෑම සහ ප්‍රතිපත්තිවල ඇතිවන අවිනීශ්චිත තත්ත්වයන් ඇතුළු මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් සමස්ත තක්සේරුවක් එහි දී සිදුකරනු ඇති බව ද ජූලි කොසැක් මහත්මිය පවසා සිටියා ය.

    පසුගිය ජූලි 1 වන දා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් සිව්වන සමාලෝචනය සම්පූර්ණකර අමරිකානු ඩෝලර් මිලියන 350ක මූල්‍ය ආධාරයක් ශ්‍රි ලංකාවට ලබාදීමත් සමඟ විස්තීර්ණ ණය පහසුකම යටතේ මෙරටට ලබාදුන් සමස්ත මූල්‍ය ආධාරය ඩොලර් බිලියන 1.74ක් දක්වා මේ වන විට ඉහළ ගොස් ඇත.

    මේ අතර සන්නිවේදන අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය වැඩිදුරටත් පවසා සිටියේ ශ්‍රි ලංකාව තුළ සිදුව ඇති ප්‍රතිසංස්කරණ තුළින් උද්දමනය අඩුවීම, වැඩිදියුණු කළ ආදායම් එකතු කිරීම සහ වර්ධනය වන සංචිත ප්‍රසන්සනීය ප්‍රතිඵල ලබාදෙන බවයි.

    2024 වසරේදී මෙරට ආර්ථිකයේ පශ්චාත් අර්බුද වර්ධනය 5% කින් ප්‍රසාරණය වීම තුළ කැපී පෙනෙන වර්ධනයක් යළි ලබාගැනීම සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අවදානය යොමුව ඇත.

    2022 වසරේ දී මෙරට පැවති 8.2%ක දළ දේශිය නිශ්පාදිතය පසුගිය 2024 වසරේ දී 13.5%ක් දක්වා ඉහළ යාම ද විශේෂත්වයකි.

    එය ශක්තිමත් මුල්‍ය කාර්ය සාධනය පිළිබිඹු කරන අතර ණය ප්‍රතිව්‍යූහගත කිරීම අවසන් වීම හරහා සමස්ත IMF වැඩසටහනේ කාර්ය සාධනය ශක්තිමත්ව පවතින බවයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය වැඩිදුරටත් පවසා සිටියේ.