January, 15, 2025
මෙරට අධිකරණ සීමාවෙන් ඔබ්බෙහි පිහිටි සාගර ප්‍රදේශවල ජෛව විවිධත්වය පිළිබඳ ගිවිසුම (BBNJ) එනම් ගෝලීය සාගර ගිවිසුම අත්සන් කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් ඉකුත්දා යෝජනා කරනු ලැබූ අතර, ඊට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදීම පිළිබඳව Greenpeace South Asia සංවිධානය සිය ප්‍රශංසාව පළ කර සිටියි. (1) මෙය, නියාමනයට ලක් නොවන ජාත්‍යන්තර මුහුදු කලාපයන්හි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් තර්ජනයට ලක්වන ප්‍රදේශ ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත් වැදගත් පියවරක් වෙයි.
“විශේෂයෙන්ම ඉන්දියානු සාගර වටද්දර සංගමයේ (IORA) සභාපතිවරයා වශයෙන් අපගේ සාගරවල හිතකර පැවැත්ම වෙනුවෙන් මුල්තැන දීමට ශ්‍රී ලංකා නායකත්වය කටයුතු කිරිම පිළිබඳව අපගේ ප්‍රශංසාව පුද කරනවා. මෙම පියවර මගින් පෙන්නුම් කරන්නේ, සාගර ජෛව විවිධත්වය සංරක්ෂණය සඳහා රටවල් අතර සහයෝගිතාව ගොඩනගා ගැනීමට ශ්‍රී ලංකාව කැපවන බවයි.” Greenpeace South Asia සංවිධානයේ ශ්‍රී ලංකා ක්‍රියාකාරිනී ප්රචාරක අනීතා පෙරේරා මහත්මිය පැවසුවාය.
මෙලෙස, ගෝලීය සාගර ගිවිසුම ලෙස පොදුවේ හැඳින්වෙන BBNJ ගිවිසුමට අනුමැතිය ලබාදීම හේතුවෙන්, මහා පරිමාණ ආරක්ෂිත සමුද්‍ර ප්‍රදේශ පවත්වා ගෙන යාම වෙනුවෙන් සහය දක්වන අතරෙහි, තිරසර ධීවර කළමනාකරණය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම, සාගර සම්බන්ධ විද්‍යාත්මක පර්යේෂණ දිරිගැන්වීම සඳහාද ශ්‍රී ලංකාවට අවස්ථාව උදා වේ. ජාත්‍යන්තර මුහුදු කලාපයේ සමුද්‍රීය සම්පත් අධික ලෙස සූරාකෑම, වාසස්ථාන විනාශය හා ජෛව විවිධත්වය අහිමී විම ආදී කාරණා පිළිබඳව සැලකිලිමත් වීමේදී, මෙම ගිවිසුමට අනුමැතිය හිමිවිම අතිශයින් වැදගත් වේ.
මෙම ගිවිසුම, වෙරළ තීරයෙහි පටන් නාවික සැතපුම් 200ක් (කිලෝමීටර් 370ක්) එහායින් පිහිටි මහ මුහුදෙහි සුවිශාල ප්‍රදේශයක් සංරක්ෂිත ප්‍රදේශ බවට පත් කිරීමට හැකි ශක්තිමත් යාන්ත්රණයකි. (2) එමෙන්ම අධික ලෙස මසුන් ඇල්ලීම හා පරිසර දූෂණය හේතුවෙන් තර්ජනයට ලක්වන මෙම කලාපයේ සමුද්‍රීය පරිසරය කෙමෙන් යථා තත්ත්වයට පත් වීමට එමගින් ඉඩ සැලසෙන අතර, සමෘද්ධිමත් පරිසර පද්ධතියක්ද බිහිකිරිමටද එය ඉවහල් වේ. හිතකර සාගර පරිසරයක් රටක දේශගුණික ස්ථාවරත්වය සඳහා පමණක්ම අවශ්‍ය වන්නක් නොවේ. ගෝලීය වශයෙන් ගත්කල එවැන්නක්, රටෙහි වෙරළබඩ ප්‍රජාව, ධීවරයින් සහ නාවිකයින් ඇතුළු මිලියන ගණනක ජනතාවකට තිරසර ජීවන තත්ත්වයක් උදාකර දීම සඳහා අත්‍යවශ්‍ය වේ.
මෙම සුවිශේෂී ගිවිසුම ක්‍රියාත්මක කිරිමත් සමග, මූල්‍ය සම්පත් සහ තාක්ෂණික ධාරිතාව අතින් සිමිත, ශ්‍රී ලංකාව ඇතුළුව සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ පාන අභියෝග, Greenpeace South Asia සංවිධානයේ අවධානයට ලක්ව තිබේ. ඒ හේතුවෙන්, සාගර සංරක්ෂණය ඵලදායී ලෙස ක්‍රියාවට නැංවිම සහතික කරමින්, ධාරිතා ඉහළ නැංවීම, සම්පත් බෙදාගැනීම පමණක් නොව, ජාත්‍යන්තර සහයෝගීතාව පවත්වා ගැනීම සඳහා සඳහා වන ඉල්ලීම්වලට සහය දැක්වීිමටද සංවිධානය කටයුතු කරයි.
පසුගිය වසර තුළ ඇති වුණු විනාශකාරි දේශගුණික විපර්යන්ට ශ්‍රී ලංකාව පමණක් නොව, මුළු මහත් දකුණු ආසියා කලාපයටම මුහුණ දිමට සිදුවුණු අතර, තාප තරංග, අධික වැසි, ගංවතුර, නාය යෑම් සහ වෙරළ ඛාදනය ආදිය හේතුවෙන් ජීවිත හානිද, ආර්ථික හානිද ඇති විණි. අපගේ පරිසරය එකම පද්ධතියක් ලෙසින්, දේශගුණය, වනාන්තර හා සාගර එකකට එකක් සම්බන්ධ වන අතර, යහපත් හෝ අයහපත් බලපෑම් අතින්ද ඒවා අතර සහයෝගී සම්බන්ධතාවක් පවතී. ඒ අනුව, දේශගුණික වෙනස්කම් හා අයහපත් කාලගුණික බලපෑම් අවම කරගත හැකි පරිදි, සමස්ත පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම සඳහා මෙම සම්බන්ධතාව හඳුනාගෙන ඊට ප්‍රමුඛතාව දී කටයුතු කිරීම, රටේ නායකත්වයට අතිශයින් වැදගත් වේ.
2024 පෙබරවාරි මාසයේ, Greenpeace සංවිධානයේ ලෝ ප්‍රකට යාත්‍රාව වන Rainbow Warrior දිවයිනට ළඟා විණි. ඒ, එම සංවිධානයේ දකුණු ආසියානු කාර්යාලය විවෘත කිරීමට සමගාමීවය. සාගර සංරක්ෂණය සහ ශ්‍රී ලංකාව වැනි දූපත් රාජ්‍යයක් සඳහා වැදගත්වන එක්සත් ජාතීන්ගේ BBNJ (ජාතික අධිකරණ බලයෙන් ඔබ්බට ජෛව විවිධත්වය) ගිවිසුම පිළිබඳව මෙරට ජනතාව දැනුවත් කිරීම අතින් සුවිශාල සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට එමගින් හැකි විණි. ඉකුත් 2024 වසර පුරාම, සාගර සංර ක්ෂණය පිළිබඳ මහජන දැනුවත් කිරීමේ වැඩසටහන්, සමාජ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු මෙන්ම සිවිල් සමාජ සංවිධාන සඳහා වැඩමුළු ඇතුළුව, උපදේශන වැඩසටහන් මාලාවක් පැවත්වුණු අතර, රට පුරාම ප්‍රාදේශීය කණ්ඩායම් සවිබල ගැන්වීම සිදු කෙරිණි. එමෙන්ම, මෙම BBNJ ගිවිසුම අනුමත කර අත්සන් කිරීමට රජයේ ප්‍රමුඛතාවය ලබාදෙන ලෙස ඉල්ලා Greenpeace සංවිධානය විසින් ජනාධිපති අපේක්ෂකයින් වෙත ලිපි යොමු කිරීමද සිදු කෙරිණි. ගිවිසුම හරහා ජාත්‍යන්තර මුහුදු කලාපයේ සමුද්‍ර ආරක්ෂිත ප්‍රදේශ (MPAs) ජාලගත කිරීමට නීති රාමුවක් සකස් කිරීම මෙන්ම, මෙරට අධිකරණ සීමාවෙන් ඔබ්බෙහි මුහුදු ප්‍රදේශවල පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ ප්රමිතීන්(EIAs) ස්ථාපිත කිරීම, සමුද්‍රීය ජාන සම්පත්වලින් ප්රතිලාභ සාධාරණ ලෙස හුවමාරු කරගැනීම (MGRs), සහ සමුද්‍රීය සංරක්ෂණයට අදාළ ධාරිතා සංවර්ධනය මෙන්ම, තාක්ෂණික හුවමාරුව සහ තිරසාර අරමුදල් ක්‍රමවේද ප්‍රවර්ධනය ආදී ප්රතිලාභ අත්කර ගැනීමේ හැකියාව ආදි කාරණා එමගින් රජයේ අවධානයට යොමු කෙරිණි. ගෝලීය සමුද්‍ර සංරක්ෂණ ප්රයත්නයන්වලදී, ශ්‍රී ලංකාවට ක්‍රියාකාරී කාර්යභාරයක් ඉටු කිරීමට පදනම මෙම ගිවිසුම මගින් සැකසෙන අතර, දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට ඇති සුවිශේෂී වැදගත්කම මෙන්ම, BBNJ නීති රාමුව යටතේ වැඩිදියුණු කළ සමුද්‍රීය පාලන කටයුතු හරහා ප්රතිලාභ අත්විඳීමේ හැකියාවද මෙම ප්රයත්නයන් මගින් අවධාරණය කෙරේ.
මහ මුහුදේ විශාල අභයභූමි නිර්මාණය කිරීම සඳහා ඉවහල් වන මාහැඟි අවස්ථාවක් උදා කරන ගෝලීය සාගර ගිවිසුමට අනුමැතිය ලබාදීමේ මෙම තීරණය මගින්, සමුද්‍රීය පරිසර පද්ධතිවල ඔරොත්තු දීමේ හැකියාව ආරක්ෂා කිරීම සඳහා වන කැපවීම විදහා දැක්වේ. අදට පමණක් නොව අනාගත පරම්පරාවටත් ඉවහල් වන, BBNJ ගිවිසුමේ අරමුණු සාර්ථකව ක්රියාට නැංවිම සහතික කරනු පිණීස, ශ්‍රී ලංකා රජය හා අනෙකුත් කලාපීය පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට Greenpeace South Asia සංවිධානය උත්සුක වෙයි.
Video Story