චීනය හා ඉන්දියාව සමඟ අපට වාසිසහගත වෙළෙඳ ගිවිසුම් අත්සන් කරනවා – රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ

    December, 15, 2015

    ඉදිරියේ දී චීනය හා ඉන්දියාව සමඟ අපට වාසිසහගත තත්ත්වයේ වෙළෙඳ ගිවිසුම් කරා යාමට සැලසුම් කර තිබෙන බවත් එම වෙළෙඳපොළවල් විවෘත කර ගතහොත් අපගේ අපනයනවලට විශාල වෙළෙඳපොළක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බවත් ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව කියටා සිටියේ හෙට පැවැත්වෙන ජනාධිපති අපනයන සම්මාන උළෙල පිළිබඳ මාධ්‍ය හමුවකට එක් වෙමිනි. තවද සිංගප්පූරුව සමඟ ද වෙළඳ ගිවිසුමක් ඇතිකිරීමට කටයුතු කරන බවත් සම්පූර්ණයෙන් වාසිසහගත නොවුනත් වැඩි වාසියක් අපට ලබා ගත හැකිවන අයුරින් මෙම ගිවිසුම් කරා යාමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය. මේ සියල්ල සාක්ෂාත් කර ගැනීම තුළින් බලාපොරොත්තු වන අපනයන වර්ධනය කර ගැනීමේ මට්ටමට යාමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මෙසේ කියා සිටියේය. “අපේ රටේ දියුණුව රඳා පවතින්නේ අපනයන මත. පසුගිය අවුරුදු 15 පමණ තුළ රටේ අපනයන නරක ලෙස පහළ ඇවිත් තිබෙනවා. 2000 වසර වන විට චීනය, බංග්ලාදේශය, මෝල්ඩෝවා, මියන්මාර්, වියට්නාමය වැනි රටවල් අපට වඩා පහළ මට්ටමක සිටියේ. එහෙත් අද වන විට එම සියලුම රටවල් අපව අභිබවා ගොස් තිබෙනවා. අවුරුදු 8 කට පමණ පෙර ලෝක දළ ජාතික නිෂ්පාදිතයෙන් අපගේ අපනයන 0.09% ක් පමණ වුණා. නමුත් අද වන විට එය 0.04% දක්වා පහළ බැස තිබනෙවා. එමෙන්ම අවුරුදු 10 කට පමණ පෙර 34% ක් පමණ වූ අපගේ අපනයනයන අද වන විට 14% දක්වා පහළ අගයකට වැඩී තිබෙනවා.“

    “අද වන විට මෙරට අපනයන වර්ධනය කරන්න පියවර කිහිපයක්ම අප ගෙන තිබෙනවා. Exporter's forum නමින් අපනයනකරුවන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා සම්මන්ත්‍රණයක් පසුගියදා අප විසින් පැවැත්වුවා. මාස 03 කට වරක් මෙම සම්මන්ත්‍රණය පවත්වන්න අප තීරණය කර තිබෙනවා.“

    “අපට පාරම්පරික අපනයන තුළ රැඳෙන්න බැහැ. තේ, පොල්, රබර්, විදේශ රැකියා සහ ඇඟළුම් යන අපනයන තුළ රැඳී සිටියහොත් ලෝකයත් සමග අපට දියුණූ වෙන්න බැරි වෙනවා. අපි නව අපනයන නිෂ්පාදිත කෙරෙහි යොමුවිය යුතුයි. මේ රටේ ට්‍රැක්ටර්, කාර් නිෂ්පාදනය අපි ආරම්භ කළ යුතුයි. එසේම නාවුක හා ගුවන් මාර්ග ගණනාවක කේන්ද්‍රවන ලෙස භූගෝලීය වශයෙන් ලංකාවේ පිහිටීම අපගේ අපනයනය වෙළෙඳාමට විශාල පිටිවහලක් වෙනවා,“ යැයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.