චීන්නු අඩුවෙද්දී ඉන්දියානුවෝ වැඩිවෙලා

    March, 6, 2017

    පසුගිය පෙබරවාරි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින් ගණන 197,517 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අනාවරණය කර සිටී. මෙය 2016 වසරේ පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය වූ 197,697 හා සැසඳීමේ දී සියයට 0.1 ක පහළ යාමකි. කෙසේ වෙතත් 2017 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ගණන 194,280 සිට 219,360 දක්වා සියයට 12.9 කින් ඉහළ ගොස් තිබිණි.

    පෙබරවාරි මාසයේ දී දැකිය හැකි වූ සුවිශේෂී කරුණක් නවම් මෙරටට පැමිණි චීන සංචාරකයින්ගේ සංඛ්‍යාව පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී සියයට 2.1 ක පහළ යාමක් වාර්තා කර තිබීමයි. 2016 පෙබරවාරි මාසයේ දී චීන සංචාරකයින් 58,269 ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර 2017 පෙබරවාරි මාසයේ දී එම ප්‍රමාණය වාර්තා වන්නේ 57,050 ක් ලෙසිනි.

    මේ අතර පෙබරවාරි මාසයේ දී වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි. එම ප්‍රමාණය 57,493 ක් වන අතර 2016 පෙබරවාරි මාසයේ දී මෙරටට පැමිණි ඉන්දීය සංචාරකයින් ගණන වූ 55,454 හා සන්සන්දනය කිරීමේ දී මෙය සියයට 3.7 ක වර්ධනයකි.

    2016 පෙබරවාරි මාසය තුළ දී දැකිය හැකි තවත් සුවිශේෂී කරුණක් වනුයේ එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 12 කින් හා රුසියාවෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 26.5 කින් ඉහළ ගොස් තිබීමයි. මෙහිදී එක්සත් රාජධානියේ සංචාරකයින් ප්‍රමාණය 35,447 සිට 39,686 දක්වා ද, රුසියානු සංචාරකයින්ගේ ප්‍රමාණය 15,316 සිට 19,368 දක්වා ද වැඩි වී ඇත.