චීන්නු පෝලිම වේගවත්. සියල්ලන්ටම ඉහළින්

    August, 5, 2014

    ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීම වේගයෙන්ම වර්ධනය වන රට බවට මේ වනවිට පත්ව තිබෙන්නේ චීනයයි. රජය විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත වලට අනුව ගෙවුණු ජූලි මාසයේදී මෙරටට චීනයෙන් පැමිණ තිබෙන සංචාරකයින් ප්‍රමාණය සියයට 172.2 කින් වර්ධනය වී 15,178 දෙනෙකු පැමිණ තිබේ.

    වසරේ මුල් මාස හත තුළදී මෙරටට පැමිණි චීන සංචාරකයින් ප්‍රමාණය සියයට 144.2 කින් වර්ධනය වී තිබෙන අතර පැමිණ තිබෙන ප්‍රමාණය 67,408 කි.

    මේ වසරේ මුල් මාස හත තුළදී මෙරටට බ්‍රිතාන්‍යයෙන් සංචාරකයින් 82,815 ක් පැමිණ තිබෙන නමුත් එහි වර්ධනය සියයට 6.4 කි.

    ගෙවුණු ජූලි මාසයේදී මෙරටට ඉන්දියාවෙන් සංචාරකයින් 19,277 දෙනෙකු පැමිණ තිබෙන අතර එහි වර්ධනය සියයට 30.4 කි.

    ශ්‍රී ලංකාව විසින් චීන සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ප්‍රවර්ධන වැඩසටහන් රැසක්ම සංවිධානය කළ අතර අනාගතයේදී වැඩි චීන සංචාරකයින් ප්‍රමාණයක් ගෙන්වා ගැනීම අරමුණයි.

    ලෝකයේ දැවැන්තම ආර්ථිකය බවට පත්වෙමින් තිබෙන චීනය තුළ මේ වනවිට ඉතාමත් විශාල ධනවතුන් පිරිසක් බිහිවෙමින් තිබෙන අතර ඔවුන් ඉදිරියේදී වැඩි වශයෙන් පිටරටවල සංචාරය කරනු ඇතැයි විශ්ලේෂකයින් සඳහන් කරයි.

    ගෙවුණු ජූලි මාසයේදී මෙරටට සමස්තයක් ලෙස සංචාරකයින් 133,971 ක් පැමිණ තිබෙන අතර එය සියයට 25.2 ක වර්ධනයකි.

    ජූලි මාසය දක්වා මාස හතක කාලය තුළ මෙරටට සංචාරකයින් 861,324 දෙනෙකු පැමිණ තිබෙන අතර එහි වර්ධනය සියයට 24.7 කි.