October, 11, 2014
ප්‍රථම වතාවට වසරක් තුළ චීන සංචාරකයින් ලක්ෂයක් මෙරටට පැමිණීමේ ඓතිහාසික අවස්ථාව අද සනිටුවහන් කරමින් හයොන් සහ චෙන් හුයි හුවා යුවළ අද අලුයම ෂැංහයි නුවර සිට කොළඹට පැමිණි අතර ඔවුන්ව කටුනායක ගුවන් තොටුපොළේදී මහත් හරසරින් පිළිගන්නා ලදී.
මොවුන්ට ලබාදෙන තිළිණියක් ලෙස මෙරට හෝටල්වල නවාතැන් පහසුකම් සහ ගුවන් ටිකට් පත් ඇතුළත් මෙරට යළි සංචාරය කිරීමේ දින 05 ක පැකේජයක් ශ්‍රී ලංකා සංචරණය මගින් එම යුවළට තෑගි කළේය.
ගෙවුණු සැප්තැම්බර් මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් පිළිබඳ දත්ත වලින්ද අනාවරණය වන්නේ මෑත කාලීනව ලංකාව කෙරෙහි වැඩිම කැමැත්තක් දක්වා තිබෙන සංචාරකයින් කණ්ඩායම වන්නේ චීන සංචාරකයින් බවයි.
2013 වසරේ සැප්තැම්බර් මාසය දක්වා මාස 09 තුළ ලංකාවට චීන සංචාරකයින් පැමිණ තිබුණේ 39,354 කි. නමුත්, මේ වසරේ සැප්තැම්බර් දක්වා මාස 09 තුළ මෙරටට පැමිණි චීන සංචාරකයින් ප්‍රමාණය 94,994 කි. එය ගිය වසරට වඩා සියයට 141 ක වැඩිවීමක් වන අතර වැඩිම වර්ධනයක් පෙන්නුම් කර තිබෙන රට වන්නේද චීනයයි.
මීට අමතරව, මේ වසරේදී ඉන්දියාව හා එංගලන්තය හැරුණු කොට තුන්වැනියට ලංකාවට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ තිබෙන රට වන්නේ චීනයයි.
ගිය වසරේදී චීනය තුන්වන ස්ථානයේ නොසිටි අතර ජර්මනිය, ප්‍රංශය, මාලදිවයින යන රටවල් වලට වඩා පහළින් තිබුණි. නමුත්, මේ වසරේ මේ දක්වා ලංකාවට චීනයෙන්, ජර්මනිය, ප්‍රංශය, මාලදිවයින යන රටවල් වලටත් වඩා සංචාරකයින් පැමිණ තිබේ.
මේ සැප්තැම්බර් මාසයේදී ලංකාවට සංචාරකයින් 105,535 ක් පැමිණ තිබෙන අතර එය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 16.8 ක වර්ධනයකි.
මීට අමතරව, මේ වසරේ සැප්තැම්බර් දක්වා මාස 09 තුළ ලංකාවට පැමිණ තිබෙන සංචාරකයින් ප්‍රමාණය එකොලොස් ලක්ෂ හත් දහස ඉක්මවා ඇත. එය සියයට 22.4 ක වර්ධනයකි.


Video Story