January, 26, 2016
චීන කොටස් වෙළෙඳපොළ යළිත් වරක් අර්බුදයට ලක්වන බවක් අද දිනයේ දී දක්නට විය. මෙහිදී ෂැංහයි කොටස් වෙළෙඳපොළ ප්‍රධාන වෙළෙඳපොළ දර්ශකය වන Shanghai Composite Index අද දිනය තුළ 6.4% කින් පහළ ගොස් තිබෙන අතර මෙය 2014 දෙසැම්බර් 01 වැනිදායින් පසු වාර්තා වූ අවම මට්ටමට එය පැමිණ ඇත.
චීන ආර්ථිකයෙහි මෙම අහිතකර ප්‍රතිවිපාක ගෝලීය වශයෙන් දැඩි බලපෑමක් එල්ල කරනු ලබන අතර කොළඹ කොටස් වෙළෙඳපොළ ද අද දිනයේ දී මෙම වාතාවරණය තුළ 0.50% කින් පහළ ගියේය. අද දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,322.96 ක් ලෙසින් වාර්තා වූ අතර මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 31.96 ක කඩා වැටීමකි.
කොළඹ කොටස් වෙළෙඳපොළ පහළ යාම කෙරෙහි අද දිනයේ දී විශාල වශයෙන් හේතුවූයේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී කොටස් මිල 2009 දෙසැමබර් 09 වනදාට පසු වාර්තා වූ අඩුම මට්ටමට දිනය තුළ දී ඇද වැටීමයි. දිනය අවසානයේ දී ජෝන් කීල්ස් කොටසක මිල රු. 153.70 ලෙසින් සටහන් වූව ද රු. 150.10 දක්වා වූ අඩු මිල ගණන්වලට ද දිනය තුළ එම සමාගමේ කොටස් ගනුදෙනු වී තිබිණි.
දිනය තුළ වාර්තා පිරිවැටුම රු. මිලියන 341.34 කි. මෙයින් දේශීය ගැණුම් රු. මිලියන 238 ක් ලෙසත්, දේශීය විකුණුම් රු. මිලියන 241.79 ක් ලෙසත් සටහන් විය. සුපුරුදු පරිදි අද දිනයේ දීද කොළඹ කොටස් ගනුදෙනු සඳහා විදෙස් මැදිහත්වීම ඇල්මැරුණු ස්වභාවයක් ගත් අතර විදේශීය ගැණුම් රු. මිලියන 103.38 ක් හා විදේශීය විකුණුම් රු. මිලියන 99.55 ක් ලෙසින් වාර්තා විය.
විදේශීය ගැණුම් තුළ ඒසියා ඇසෙට් ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලියන 25 ක් රු. 1.50 බැගින් විදේශීය පාර්ශවයක් විසින් මිල දී ගැනීමක් අන්තර්ගත විය. මෙය අද දින තුළ සිදුවූ එකම ගිවිසාගත් (Crossing) කොටස් ගනුදෙනුවයි.
චීනය හැරුණු කොට ජපානය, හොංකොං, දකුණු කොරියාව, තායිවානය, සිංගප්පූරුව, වියට්නාමය, පිලිපීනය ආදී ආසියානු කලාපයේ බොහෝ කොටස් වෙළෙඳපොළ අද දිනයේ දී පහළ යන ලදී. ආසියානු කලාපයේ විශාලතම සමාගම් 50 ඇසුරින් සකස් කෙරෙන MSCI ASIA APEX 50 දර්ශකය අද දිනය තුළ 2.22% කින් පහළ ගොස් තිබේ.
මේ අතර ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද දිනය තුළ දී යළිත් වරක් ඩොලර් 30 මට්ටමින් පහළට පැමිණි තිබේ.
Video Story