ඡන්ද ප්‍රතිඵල මැද්දේ කොටස් ප්‍රතිඵල මෙන්න

    March, 31, 2014

    බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල ලැබීමෙන් පසුව කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු සිදුවූ පළමු දිනය වූ අද දකින්නට ලැබුණේ මිශ්‍ර ප්‍රතිඵල වන අතර විදේශීය ආයෝජකයින් විසින් රුපියල් මිලියන 56 ක ශුද්ධ මිලදී ගැනීම් කර තිබේ.

    මේ අනුව, අද විදේශීය ආයෝජකයින් විසින් රුපියල් මිලියන 114 ක් වටිනා කොටස් මිලදීගත් අතර රුපියල් මිලියන 58 ක් වටිනා කොටස් විකිණීම කළේය.

    සමස්ත මිල දර්ශකය අද ඒකක 3.86 කින් පහළ ගොස් ඒකක 5,968.31 ක් වෙද්දී එස් ඇන්ඩ් පී මිල දර්ශකය ඒකක 1.25 කින් ඉහළ ගොස් ඒකක 3,279.92 ක් විය.

    දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 464.3 කි.

    අද එච්.එන්.බී. කොටසක් රුපියල් 6.10 කින් පහළ ගොස් රුපියල් 150 ක්ද, ශ්‍රී ලංකා ටෙලිකොම් කොටසක් ශත 70 කින් පහළ ගොස් රුපියල් 46.10 ක්ද, සිලෝන් ටී සර්විසස් කොටසක් රුපියල් 38.90 කින් පහළ ගොස් රුපියල් 660.10 ක්ද වී ඇත.

    මීට අමතරව, බුකිට් ඩාරා කොටසක් රුපියල් 29 කින් ඉහළ ගොස් රුපියල් 600 ක්වී තිබේ.

    දිනයේ පිරිවැටුම සඳහා කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 48.8 කින්, ජනශක්ති රක්ෂණ සමාගම රුපියල් මිලියන 40.87 කින් සහ ජෝන් කීල්ස් කොටස් බලපත්‍ර 22, රුපියල් මිලියන 32.52 කින් දායක වී ඇත.

    අද වැඩිපුරම ගනුදෙනු වූයේ ජනශක්ති රක්ෂණ සමාගමේ කොටස් වන අතර එම ප්‍රමාණය මිලියන 3.04 කි. මේ අතර, පී.සී.එච්. හෝල්ඩින්ග්ස් කොටස් මිලියන 2.29 ක්ද, නවලෝක හොස්පිට්ල්ස් කොටස් මිලියන 1.18 ක්ද ගනුදෙනු විය.

    විදේශිකයින් අද කොමර්ෂල් බැංකුවේ රුපියල් මිලියන 47.9 ක කොටස් මිලදී ගත් අතර ජෝන් කීල්ස් සමාගමේ රුපියල් මිලියන 21.6 ක කොටස් මිලදී ගත්තේය.

    පසුගියදා නිකුත් කෙරුණු ඇලුමෙක්ස් කොටස් අද කොළඹ කොටස් වෙළඳ පොළේ දිරිසවි පුවරුවේ ගනුදෙනු කිරීම ඇරඹුණි.

    ඇලුමෙක්ස් කොටසක් රුපියල් 14.00 කට නිකුත් කෙරුණු අතර දිනයේ එක් අවස්ථාවක රුපියල් 15.20 ක් දක්වා එම කොටස ඉහළ ගියේය. දිනයේ ගනුදෙනු අවසානයේදී ඇලුමෙක්ස් කොටසක් රුපියල් 14.20 ක් විය.