ජනවාරියේ බොරතෙල් ආනයන වියදම සියයට 146 කින් උඩ යයි

    April, 9, 2018

    ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2018 ජනවාරි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ දත්ත වාර්තාවලට අනුව ඉන්ධන ආනයන විදයම 28% කින් ඉහළ ගොස් තිබේ.

    2017 ජනවාරි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 282.8 ක්වූ සමස්ත ඉන්ධන ආනයන වියදම 2018 ජනවාරියේ දී ඩොලර් මිලියන 362 ක් දක්වා වැඩි වී ඇත. මෙහිදී බොරතෙල් ආනයන වියදම ඩොලර් මිලියන 42 සිට 2018 ජනවාරි මාසයේ දී ඩොලර් මිලියන 103.4 ක් දක්වා 146.6% කින් දැවැන්ත ලෙස වර්ධනය වී තිබේ.

    මේ අතර පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයන වියදම ඩොලර් මිලියන 204.7 සිට ඩොලර් මිලියන 223.9 දක්වා වැඩි වී ඇති අතර ගල්අඟුරු ආනයන වියදම ඩොලර් මිලියන 36.1 සිට ඩොලර් මිලියන 34.7 දක්වා සියයට 3.8% කින් අඩු වී ඇත.

    2017 ජනවාරි මාසයේ දී ඩොලර් 56 ක මට්ටමක පැවති ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල 2018 ජනවාරියේ දී ඩොලර් 70 සීමාවට ආසන්න විය. එය 2017 ජූලි මාසයේ දී ඩොලර් 46 ක් දක්වා පහළ ගොස් තිබිණි.