February, 8, 2016
2016 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 194,280 ක් ලෙසින් වාර්තා වන අතර මෙය 24.3% ක වර්ධනයක් බව නවතම දත්ත වාර්තා සඳහන් කර සිටී. මෙයාකාරයෙන් ශ්‍රී ලංකාවට පැමිණි සංචාරයකින්ගෙන් බහුතරය ඉන්දියානුවන් වන අතර එහි දෙවන තැන හොංකොං, මැකාවෝ ඇතුළු චීන ජාතිකයින් විසින් අත්පත් කර ගෙන තිබේ.
ජනවාරි මාසයේ දී මෙරටට පැමිණි ඉන්දියානුවන් ගණන 28,895 ක් ලෙසින් සඳහන් වන අතර එය 26% ක වර්ධනයකි. මේ අතර ගෙවී ගිය මාසයේ දී පැමිණ ඇති චීන ජාතිකයින් ගණන 122% කින් ඉහළ ගොස් ඇති අතර එම ප්‍රමාණය 26,083 ක් ලෙස වාර්තා වේ.
කෙසේ වෙතත් ජනවාරි මාසය තුළ මෙරටට පැමිණ තිබෙන රුසියානු සංචාරකයින්ගේ ප්‍රමාණය 8,358 දක්වා 10% කින් පහළ ගොස් තිබේ.
එක්සත් රාජධානියේ සිට පැමිණි සංචාරකයින් ගණන 16,253 දක්වා 21% කින් ද, ජර්මානු සංචාරකයින්ගේ ප්‍රමාණය 12,760 දක්වා 23% කින් ද පසුගිය මාසය තුළ දී වර්ධනය වී ඇත.
2015 වසරේ ජනවාරි මාසය හා සැසඳීමේ දී ප්‍රතිශතාත්මකව දෙවැනියට වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ යුක්‍රේනයෙනි. ජනවාරි මාසයේ දී එලෙසින් පැමිණ තිබෙන යුක්‍රේන සංචාරකයන් ගණන 4,662 ක් වන අතර එය 40.8% ක ඉහළ යාමකි.
Video Story