ජනශක්ති ෆිනෑන්ස් පී එල්  සී සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය ලෙස ඉන්ද්‍රේෂ් පුවිමානසිංහ ප්‍රනාන්දු පත් කෙරේ

    January, 30, 2026

    JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී එල්  සී  (මීට පෙර ඔරිඑන්ට්  ෆිනෑන්ස් පී එල්  සී) සමාගමේ නව ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය ලෙස ඉන්ද්‍රේෂ් පුවිමානසිංහ ප්‍රනාන්දු මහත්මිය පත් කර තිබේ.

    ඉන්ද්‍රේෂ් පුවිමානසිංහ ප්‍රනාන්දු මහත්මිය විවිධ ක්ෂේත්‍ර තුළ මූල්‍ය, මෙහෙයුම්, සැපයුම් දාම කළමනාකරණ සහ ඩිජිටල් පරිවර්තන යනාදී අංශවල වසර 33 කට අධික පළපුරුද්දක් හිමි, ප්‍රධාන විධායක මට්ටමේ තනතුරු රැසක් දරා ඇති ප්‍රවීණ වෘත්තීයවේදිනියකි. විශේෂයෙන් සෞඛ්‍ය සේවා සහ මූල්‍ය සේවා යන ක්ෂේත්‍ර තුළ මෙහෙයුම් නායකත්වය, මූල්‍ය ක්‍රමෝපාය, ව්‍යාපාර මුදාගැනීම සහ මහා පරිමාණ ආයතනික පරිවර්තනය යනාදී අංශ සම්බන්ධයෙන් ඇය දීර්ඝකාලීනව අත්දැකීම් ලබා ඇත.

    2014 වසරේදී Softlogic Holdings PLC සමඟ එක් වූ ඉන්ද්‍රේෂ් පුවිමානසිංහ ප්‍රනාන්දු මහත්මිය පසුව Softlogic Finance PLC හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනිය ලෙස පත්වීම් ලැබූ අතර, එහිදී ඇය මෙහෙයුම් රාමු සහ කාර්යසාධනය ශක්තිමත් කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කළාය. 2018 වසරේදී Asiri Hospital සමූහයේ ප්‍රධාන ක්‍රියාවලි නිලධාරිනිය (CPO) ලෙස පත්වීම් ලැබූ ඇය විසින් ආසිරි සමූහයේ ඵලදායීතාව, පාරිභෝගික අත්දැකීම්, ප්‍රසම්පාදනය සහ අය විය යුතු ගෙවීම් කළමනාකරණය යනාදී අංශ වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් සමස්ත සමූහය ආවරණය වන පරිදි සිදුකරන ලද ප්‍රතිසංස්කරණ මාලාවක් සඳහා නායකත්වය ලබාදෙන ලදි. Softlogic හා සම්බන්ධ වීමට පෙර ඇය Hemas සමූහයේ අංශ මූල්‍ය අධ්‍යක්ෂවරිය ලෙස සේවය කළ අතර, එය විවිධාකාර වූ ආයතනික පරිසරයන් සම්බන්ධයෙන් ඇය සතු දැනුම සහ අත්දැකීම් තවදුරටත් පුළුල් කළ තනතුරක් විය.

    Chartered Institute of Management Accountants (CIMA), UK හි සාමාජිකත්වය දරන ඉන්ද්‍රේෂ් පුවිමානසිංහ ප්‍රනාන්දු මහත්මිය වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරී [Chartered Global Management Accountant (CGMA)] සුදුසුකම්ද සපුරා තිබේ.

    මෙම පත්වීම පිළිබඳව ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිදම්බරම් ශ්‍රී ගණේන්ද්‍රන් මහතා මෙසේ අදහස් දැක්වීය: “ජනශක්ති ෆිනෑන්ස් නායකත්ව කණ්ඩායමට ඉන්ද්‍රේෂ් පුවිමානසිංහ ප්‍රනාන්දු මහත්මිය සාදරයෙන් පිළිගන්නවා. මූල්‍ය සේවාවන් සම්බන්ධයෙන් ඇය සතු පුළුල් දැනුම සහ අත්දැකීම් සම්භාරය මෙන්ම පරිවර්තන වැඩසටහන් මෙහෙයවීම සම්බන්ධයෙන් ඇය සතු මනා පළපුරුද්ද,  අපගේ මෙහෙයුම් ශක්තිමත් කරමින් අනාගත දියුණුව ඉලක්ක කරගත් වැඩසටහන් ක්‍රියාවට නැංවීමේදී අපට බෙහෙවින් වැදගත් වේවි. සමාගමේ කාර්යසාධනය සහ ආයතනික පාලනය වැඩිදියුණු කරමින් අපගේ පාර්ශ්වකරුවන් සියලුම දෙනා වෙනුවෙන් දීර්ඝකාලීන වටිනාකම් නිර්මාණය කිරීම සඳහා ඇයගේ නායකත්වය තුළින්  අර්ථවත් දායකත්වයක් ලැබෙනු ඇතැයි මට විශ්වාසයි."

    සිය දීර්ඝකාලීන දැක්මට සමගාමීව පුළුල් දැනුමක් සහ ක්‍රමෝපායික අවබෝධයක් මෙන්ම පරිවර්තනය ඉලක්ක කරගත් ආකල්ප සහිත ප්‍රවීණ වෘත්තිකයන් තම නායකත්ව කණ්ඩායමට එක්කර ගැනීම සඳහා ජනශක්ති ෆිනෑන්ස් පී එල්  සී සමාගම සෑම විටම උත්සාහ දරයි.  ඉන්ද්‍රේෂ් පුවිමානසිංහ ප්‍රනාන්දු මහත්මියගේ පත්වීම එම උත්සාහයේ තවත් ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකි වේ.

     

    ඡායාරූපය: ජනශක්ති ෆිනෑන්ස් පී එල්  සී සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනී ඉන්ද්‍රේෂ් පුවිමානසිංහ ප්‍රනාන්දු මහත්මිය