ජනාධිපති අපනයන සම්මාන උළෙල හෙට නෙළුම් පොකුණ රඟහලේදී

    December, 15, 2015

    අපනයන ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල, ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (දෙසැම්බර් මස 16 වැනිදා), පස්වරු 1.30 ට, කොළඔ 07, නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වේ.

    සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය, මලික් සමරවික්‍රම සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය, සුජීව සේනසිංහ මහත්වරුන්ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායිකා, ඉන්දිරා මල්වත්ත මහත්මියගේ මූලිකත්වයෙන් සංවිධානය කෙරෙන මෙම උළෙලේදී, වසරේ ශ්‍රී ලාංකේය අපනයනකරුවා, අපනයන ක්ෂේත්‍රයේ වැඩිම රැකියා උත්පාදක, වසරේ හොඳම ශ්‍රී ලාංකේය අපනයන වෙළඳ නාමය, උපරිම ශුද්ධ විදේශ විනිමය ඉපැයුම්කරුවා (උපරිම අගය එකතු කිරීම), හොඳම නැගී එන අපනයනකරුවා, වැඩිම වෙළඳ පොළ විවිධාංගීකරණයක් ඇති අපනයනකරුවා යන විශේෂ සම්මාන හයක් (06) ජනාධිපතිවරයා අතින් ප්‍රදානය කෙරේ.

    එමෙන්ම, ඇඟලුම්, රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන, ආහාර පාන, මත්ස්‍ය හා ධීවර නිෂ්පාදන, පාවහන් හා සම්භාණ්ඩ, කැපූ මල් හා විසිතුරු ශාක පත්‍ර, අත්යන්ත්‍ර නිෂ්පාදන, ඇසුරුම්කරණ ද්‍රව්‍ය, විදුලි හා විදුලි කාර්මික නිෂ්පාදන, ත්‍යාග හා ගෘහ ආශ්‍රිත නිෂ්පාදන, මුද්‍රණ හා ලිපිද්‍රව්‍ය, කෙලිබඩු, විනෝද ක්‍රීඩා සහ ක්‍රීඩා භාණ්ඩ, තේ, දියමන්ති, මැණික් හා ස්වර්ණාභරණ, කුළු බඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන, තෑගි භාණ්ඩ, ලී බඩු නිෂ්පාදන, විසිතුරු මසුන්, රසායනික හා ප්ලාස්ටික් නිෂ්පාදන, පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන, ධීවර යාත්‍රා නිපැයුම්, ලෝහමය නිෂ්පාදන, පිඟන් හා ඛනිජ ආශ්‍රිත නිෂ්පාදන, පළතුරු හා එළවලු යන අපනයන භාණ්ඩ වෙනුවෙන් තවත් සම්මාන විසි හතරක් (24) ප්‍රදානය කිරීමට නියමිතය.

    භාණ්ඩ අපනයනයට අමතරව සේවා අංශයෙන් ද මෙරටට අති විශාල විදේශ විනිමයක් ගෙන එනු ලබන අතර, එය සැලකිල්ලට ගෙන සේවා අංශ සඳහා ද මෙහිදී සම්මාන පිරිනැමීම සිදු කෙරේ. ඒ අනුව, නීති, ගණකාධිකරණ, ගෘහ නිර්මාණ, ඉංජිනේරු, මිණුම්, වෛද්‍ය යන අංශ සඳහාද, පරිගණක හා ආශ්‍රිත සේවා අංශය වෙනුවෙන් ද, ඉදිකිරීම්, සෞඛ්‍ය හා ශාරීරික සුවතා සේවා, බෝට්ටු/නැව් අලුත් වැඩියා කිරීම සහ අන්තරාල වෙළඳාම යන ක්ෂේත්‍රයන්ටද සම්මාන තුනක් (03) ප්‍රදානය කෙරේ.

    ජනාධිපති අපනයන සම්මානය වූ කලී, ශ්‍රී ලංකාව තුලදී අපනයනකරුවෙකුට ලැබිය හැකි ඉහළම සහ වටිනාම සම්මානයයි. මෙවර උළෙලේදී පිරිනමන සම්මාන සඳහා අපනයනකරුවන් නිර්දේශ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමලත් ගරු විනිසුරු හෙක්ටර් එස්.යාපා මහතාගේ සභාපතිත්වයෙන් යුතු ජූරි සභාවක් විසින් සිදු කළ අතර, ඒ සඳහා නිල බලයෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක, වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, රේඛීය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් හා අපනයන ක්ෂේත්‍රයට සෘජුවම සම්බන්ධ මෙරට ප්‍රමුඛ පෙළේ වාණිජ මණ්ඩල නියෝජනය කරමින් සාමාජිකයන් තිදෙනෙකු ඇතුළත් ව සිටියහ.

    සම්මාන ලබාදීමේදී පෙර වසරේ ඔවුන් විසින් සිදුකළ අපනයන ධාරිතාවයන් හා කුසලතාවයන් සැලකිල්ලට ගනිමින්ද, ඊට අදාල රේගු දත්ත හා සෙසු නිර්නායක පිරික්සීමෙන් අනතුරුව ද මෙම සම්මාන සඳහා ඒ ඒ සමාගම් නිර්දේශ වී තිබේ.