ජනාධිපති නීතීඥ මෛත්‍රී එවන් වික්‍රමසිංහ ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයට

    October, 13, 2025

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමා විසින් ජනාධිපති නීතීඥ මෛත්‍රී එවන් වික්‍රමසිංහ මහතා 2025 ඔක්තෝබර් 02 වැනිදා සිට බලාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත් කර ඇත. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත ප්‍රකාරව, ශ්‍රී ලංකා මහ බැංකුවේ පරිපාලනමය සහ කළමනාකරණ කටයුතු පාලනය කිරීමට සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ පොදු ප්‍රතිපත්ති තීරණය කිරීම සඳහා වගකිව යුතු ආයතනය ලෙස පාලක මණ්ඩලය පිහිටුවා ඇත. තව ද, ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 12 (1) (ආ) වගන්තිය ප්‍රකාර ව පාලක මණ්ඩලයේ සාමාජිකයින්, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ  සාමාජිකයින් ලෙස ද කටයුතු කරයි.
    රජීව් අමරසූරිය මහතා 2025.06.27 දින සිට පාලක මණ්ඩලයේ සාමාජික ධුරයෙන් ඉවත් වීම හේතුවෙන් එතුමාගේ අනුප්‍රාප්තිකයා ලෙස ජනාධිපති නීතීඥ මෛත්‍රී එවන් වික්‍රමසිංහ මහතා එම තනතුරට පත් කෙරිණි.
    පාලක මණ්ඩලයට පත් කළ නව සාමාජිකයාගේ විස්තර පහත පරිදි වේ.
    ජනාධිපති නීතීඥ මෛත්‍රී එවන් වික්‍රමසිංහ මහතා
    ජනාධිපති නීතීඥයෙකු වන වික්‍රමසිංහ මහතා එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ අධි සාමාජිකයෙකු වන අතර කොළඹ විශ්විද්‍යාලයේ නීතිය පිළිබඳ ගෞරව උපාධිධාරියෙකි. ඔහු ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණයේ නීතීඥවරයෙකු මෙන්ම ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ සමථකරණ කටයුතුවල දී පෙනී සිටින වෘත්තීය නීතිවේදියෙකි. ඔහු ජාතික සහ ජාත්‍යන්තර සමථකරණ කටයුතුවල දී සමථකරුවෙකු ලෙස කටයුතු කරන අතර, විදේශයන් හි සිදුවන නඩු කටයුතුවල දී ශ්‍රී ලංකා නීතිය සම්බන්ධ විශේෂඥ සාක්ෂිකරුවෙකු ලෙස කටයුතු කරයි.
    වික්‍රමසිංහ මහතා විශ්වවිද්‍යාල සේවා අභියාචනා මණ්ඩලයෙ හි සභාපතිවරයා වන අතර, හෙජ් ශ්‍රී ලංකා හි පාලක සභාවේ සාමාජිකයකු මෙන්ම, අයාති ට්‍රස්ට් ශ්‍රී ලංකා හි භාරකරුවකු ලෙස ද කටයුතු කරයි. එසේ ම ඔහු කන්වීනියන්ස් ෆුඩ්ස් ලංකා පීඑල්සී හි විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂකවරයකු වන අතර, එහි පාලන සහ නාමයෝජනා කමිටුවේ සහ වේතන කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.
    වික්‍රමසිංහ මහතා මීට පෙර ලැයිස්තුගත වාණිජ බැංකුවක ජ්‍යේෂ්ඨ ස්වාධීන අධ්‍යක්ෂවරයකු සහ එහි විගණන සමාලෝචන කමිටුවේ සහ නාමයෝජනා කමිටුවේ සභාපතිත්වය දරා ඇත. ඔහු ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක ස්වාධීන අධ්‍යක්ෂවරයකු සහ එහි විගණන කමිටුවේ සභාපතීත්වය සහ වේතන කමිටුවේ සාමාජිකත්වය දරා ඇත.
    වික්‍රමසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ, මොරටුව විශ්වවිද්‍යාලයේ සහ කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ හිටපු බාහිර කථිකාචාර්යවරයෙකු සහ විභාග පරීක්ෂකවරයෙකි. ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ විභාග පරීක්ෂකවරයෙකු සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ පාලක මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ද කළමනාකරු ලෙස ද සේවය කර ඇත.