ජපාන ආයෝජකයින් 100 ක් හා අපේ සමාගම් මුහුණට මුහුණ හමුවේ

    June, 13, 2014

    ජපාන ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට තිබෙන අවස්ථාවන් පිළිබඳව දැනුවත් කරමින් ඔසාකා නගරයේ අද (13) පැවැත්වුණු ආයෝජන සමුළුවක් ඇමතීමට මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සහ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා කටයුතු කළේය.

    ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා අප සමග සඳහන් කළේ ජපානය සහ ශ්‍රී ලංකාව එකතුව පැවැත්වූ මෙම ආයෝජන සමුළුව සඳහා ජපාන ආයෝජකයින් 100 ක් පමණත් ලංකාවේ සමාගම්වල නියෝජිතයින් 25 ක් පමණත් සහභාගී වූ බවයි.

    “මෙම සමුළුවේදී අපි ජපාන ආයෝජකයින්ට කිව්වේ ලංකාව තුළ ආයෝජන අවස්ථාවන් රැසක් තිබෙන බවයි. විශේෂයෙන්ම ධීවර කර්මාන්තය සහ තාක්ෂණික අංශයේ අවස්ථාවන් තිබෙන බව අපි පෙන්වා දුන්නා. ලංකාවේ යටිතල පහසුකම්වල දියුණුව, සාමය, ශ්‍රම බලකාය පිළිබඳව අපි කරුණු පැහැදිලි කළා.“

    යනුවෙන් ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම ආයෝජන සමුළුවේදී ලංකාවේ සමාගම්වල නියෝජිතයින් හා ජපාන ආයෝජකයින් අදහස් හුවමාරු කරගත් බවත් ඔවුන් ලංකාවේ ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබූ බවත් ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම සමුළුව පැවැත්වූයේ ජපානයේ ඔසාකා නගරයේ සිටි ප්ලාසා හෝටලයේදීයි. IMG_8462IMG_8491