ජර්මානු ජනරජයේ උසස්තම සම්මානය ඩීමෝ සභාපතිවරයා වෙත පිරිනැමෙයි

    May, 14, 2018

    ජර්මානු ජනරජය විසින් පිරිනමන විශේෂ ගෞරව සම්මානයෙන් රංජිත් පණ්ඩිතගේ මහතා පිදුම් ලබයි

     

    ජර්මානු ජනරජය මගින් පිරිනමන සුවිශේෂි හා උසස්තම ගෞරව සම්මානයෙන් සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගමේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ  රංජිත් පණ්ඩිතගේ මහතා පිදුම් ලැබුවේය. පසුගියදා කොළඹ පිහිටි ජර්මානු තානාපති කාර්යාලයේදී මෙම සම්මානය පිරිනැමීම සිදුකෙරින.

    මෙම ගෞරව සම්මාන පිරිනැමීම වර්ෂ 1951 වසරේ එවක ජර්මානු ජනාධිපති තියඩෝර් හෙයුස් විසින් ආරම්භ කළ අතර සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ඒ ඒ අංශවලින් දක්ෂතා දැක්වූ  සුවිශේෂි පුද්ගලයින් වෙත පමණක්  මෙම ගෞරව සම්මානය පිරිනමනු ලබයි. ජර්මානු නායකයා විසින් පිරිනමන මෙම ගෞරව සම්මානය මඟින් අපේක්ෂා කරන්නේ සමාජයේ ප්‍රගමනය සඳහා මෙහෙවරක් ඉටු කළ පුද්ගලයින් වෙත සමස්ථ සමාජයේ අවධානය යෙමු කරවීමයි. මෙම ගෞරව සම්මානය දේශපාලන, ආර්ථික, සමාජයීය වෘත්තීය යන ක්ෂේත්‍ර වල සහ සමාජ සේවා, පුණ්‍යාධාර පරාර්ථකාමී මෙහෙවර කෙරෙහි කැපවූ  ජර්මානු ජාතිකයින් වෙත සහ විදේශිකයින් වෙත පිරිනැමීම එහි සම්ප්‍රදායයි.

    මෙරට ජර්මානු තානාපති ජෝන් රෝඩ විසින්  ජර්මානු ජනරජය වෙනුවෙන් මෙම සම්මානය රංජිත් පණ්ඩිතගේ මහතා වෙත ප්‍රදානය කළ අතර එම අවස්ථාව සඳහා පණ්ඩිතගේ මහතාගේ පවුලේ සමාජිකයින් , සහෝදර සහෝදරියන් සමීප හිතමිතුරන්  සහභාගි වූහ. මානුෂිය  ගුණාංග වලින් සපිරි උසස් මට්ටමේ කාර්යශූර ව්‍යාපාරිකයෙකු වශයෙන් රංජිත් පණ්ඩිතගේ මහතා සිදුකරන මෙහෙවර අගයමින් ජර්මානු ජනරජය විසින් මෙම ගෞරව සම්මානය රංජිත් පණ්ඩිතගේ මහතා වෙත පිරිනමන බව ජර්මානු තානාපතිවරයා මෙම අවස්ථාවේදී සඳහන් කලේය. මෙහිදී අදහස් දැක්වූ රංජිත් පණ්ඩිතගේ මහතා  තමන් ඉංජිනේරු සිසුවෙකු ව සිටි සමයේ පටන් ව්‍යාපාරිකයෙකු දක්වා වර්ධනය වීම තෙක් ජර්මනිය සමඟ සමීප සබඳතාවක් පවත්වාගත් ආකාරය සිහිපත් කළේය.

    රංජිත් පණ්ඩිතගේ මහතා ව්‍යාපාරිකයෙකු ලෙස ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර ව්‍යාපාරික සබඳතාවර්ධනය කිරීම සඳහා දක්වා ඇති සාධනීය දායකත්වය ඇගයීම මෙම ගෞරව සම්මානය පණ්ඩිතගේ මහතා වෙත පිරිනැමීමට තීරණය කර තිබේ. රංජිත් පණ්ඩිතගේ මහතාගේ නායකත්වය යටතේ  ඩීමෝ සමාගම තුළ වර්ධනය වී ඇති සහයෝගී පාලනය, ආචාරධර්මී ව්‍යාපාර ක්‍රමෝපාය, විනිවිද භාවය සහ තිරසර බව පදනම් කරගනිමින් මෙම අති දුර්ලභ ජයග්‍රහණය අත්පත් කරගැනීමට පණ්ඩිතගේ මහතා සමත්වී තිබේ.

    වර්ෂ 1939 සිට ඉහල ඉංජිනේරුමය තාක්ෂණයෙන් යුතු ජර්මානු සන්නාම රැසක මෙරට නියෝජිතත්වය ඩීමෝ විසින් හොබවනු ලබයි. ලෝ සුපතල ජර්මානු සන්නාම 25කට අධික ප්‍රමාණයක් ඩීමෝ විසින් මෙරට බෙදාරිහරිනු ලබයි. Blaupunkt, Bomag, Bosch, Claas, Demag, Detroit Diesel, Drager, Dremel, Fischer, Kaeser, KSB, Mercedes-Benz, Meditron, MTU, Osram, RZB, Schafer, Schwing Stetter, Siemens, Still, thyssenkrupp, Vossloh-Schwabe සහ  Zeiss ආදී සන්නාම ඒ අතර ප්‍රධාන වෙයි.

    මෙම දුලබ සම්මානය ජර්මානු රජය විසින්  ශ්‍රී ලාංකිකයෙකු වෙත පිරිනැමීම රංජිත් පණ්ඩිතගේ මහතා පමණක් නොව සමස්ථ ශ්‍රී ලාංකාවම ඇගයීමට ලක් කළ අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාව හා ජර්මනිය අතර ඩීමෝ සමාගම විසින් ගොඩනඟා ඇති වෙළඳ සබඳතාවට වසර 80 සම්පූර්ණ වීම ලබන වසරට යෙදී ඇති අතර එවන් අවස්ථාවක මෙම සම්මානය පිරිනැමීම  මඟින් ඉදිරියේදී ජර්මනියේ උසස්තම ඉංජිනේරුමය විසඳුම් මෙරටට හඳුන්වාදීමට ඩීමෝ සමාගමට හිමිවන අවස්ථාව තවදුරටත් පුළුල් වීම විශේෂත්වයකි

     

    ඡායාරූප - ගරු ජර්මානු තානාපති ජෝන් රෝඩ මහතා සහ ඩීමෝ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා