ජලය මත පාවෙන අපද්‍රව්‍ය ස්වයංක්‍රීයව එකතු කිරීමට 5G තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන රෝබෝ යාත්‍රාවක්

    November, 13, 2025

    සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සහ පෞද්ගලික සන්නිවේදන සමාගමක් එක්ව ජලජ අපද්‍රව්‍ය ස්වයංක්‍රීයව එකතු කිරීමේ නවෝත්පාදන ව්‍යාපෘතියක් පසුගියදා (11) ආරම්භ කළේය.

    මෙම ව්‍යාපෘතිය යටතේ, 5G තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන රෝබෝ යාත්‍රාවක් ශ්‍රී ලංකාවට ප්‍රථම වතාවට හඳුන්වා දෙනු ලැබේ. මෙම ස්වයංක්‍රීය රෝබෝ යන්ත්‍රය,ඉහළ කාර්යක්ෂමතාවකින් යුතුව ජලය මත පාවෙන ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය එකතු කිරීමේ හැකියාවෙන් යුක්තය.

    5G තාක්ෂණයේ ඉහළ වේගය සහ අඩු ප්‍රමාද වේලාව හේතුවෙන්, රෝබෝ යන්ත්‍රය දුරස්ථව සිට පවා නිරවද්‍යව සහ තථ්‍ය කාලීනව මෙහෙයවීමට සහ අපද්‍රව්‍ය හඳුනාගැනීමට හැකිවේ.

    මෙම නව රෝබෝ තාක්ෂණය හඳුන්වාදීම සඳහා අවශ්‍ය වන සියලුම අනුග්‍රාහක දායකත්වය පෞද්ගලික සන්නිවේදන සමාගමෙන් සිදු කරනු ලබන අතර, මෙහි සමස්ත මෙහෙයුම් කටයුතු සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් සිදු කරනු ලබයි.

    මෙම සුවිශේෂී ව්‍යාපෘතියේ සමාරම්භක වැඩසටහන පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන්, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකර මහතාගේ සහ පෞද්ගල්ක සන්නිවේදන සමාගමේ ඉහළ කළමනාකාරීත්වයේ සහභාගිත්වයෙන් බේරේ වැව කේන්ද්‍ර කරගනිමින් සංකේතාත්මකව අරම්භ කරන ලදී.