March, 10, 2015
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථීර තැන්පතු සඳහා ලබාදෙන සියයට 15 ක පොලී අනුපාතය ලබාගැනීම සඳහා ඇතැම් අය රාජ්‍ය බැංකු වලින් අඩු පොලියට ණය ලබාගෙන ඒවා ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වල තැන්පත් කිරීමේ උත්සාහයන් තිබෙනවාදැයි අවධානයෙන් සිටින බවත් එවැනි දේ හෙළි වුවහොත් තදින් කටයුතු කරන බවත් ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී ඩී.එම්. ගුණසේකර මහතා කියයි.
අද පෙරවරුවේ මුදල් අමාත්‍යංශයේදී හෙතෙම අවධාරණය කළේ රජය විසින් සියයට 15 ක පොලියක් ලබාදෙන ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වල අනන්‍යතාවය සම්බන්ධයෙන් ඉහළ අවධානයක් යොමුකර තිබෙන බවයි.
අතුරු අයවැයේ සඳහන් වූ පරිදි අවුරුදු 60 සම්පූර්ණ වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම්වල 2014 දෙසැම්බර් 31 වනදා වනවිට රුපියල් මිලියනයකට වඩා අඩුවෙන් තැන්පතු තිබෙන විට සියයට 15 ක පොලී අනුපාතයක් ලබාගත හැකි අතර තැන්පතු ප්‍රමාණය මිලියනය ඉක්මවන විට සියයට 15 ක පොලී අනුපාතයක් හිමි නොවේ.
මෙම මාධ්‍ය හමුවේදී හෙළිවූයේ සියළුම රාජ්‍ය බැංකු විසින් මෙම අයවැය යෝජනාව පෙබරවාරි 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කර තිබෙන බවයි.
අවුරුදු 60 සපුරා අළුතෙන් රාජ්‍ය බැංකුවල ගිණුම් විවෘත කරන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටද සිය තැන්පතු වටිනාකම රුපියල් මිලියනයකට අඩුනම් මෙම සියයට 15 ක පොලී අනුපාතය ලබාදෙන බව මෙහිදී හෙළිවිය.
මෙම පොලී අනුපාතය ලබාගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පරණ ගිණුම වෙනුවට අළුත් ගිණුමක් විවෘත කිරීම අනිවාර්ය වේ.
Video Story