January, 20, 2026
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB)ජාතික කාබනික පාලන ඒකකය (NOCU) විසින්, ITC-UK වෙළඳ හවුල්කාරිත්ව වැඩසටහන සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ ජාතික කාබනික කෘෂිකාර්මික පද්ධතියේ නීතිමය රාමුවේ යෝජිත වෙනස්කම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද (20) කොළඹ දී (Ramada Hotel )පැවැත්විණ.
මෙම අවස්තාව සදහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස් Theresa O’Mahony මහත්මිය ,ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ මහතා ,ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ ජාත්‍යන්තර උපදේශක Tom Nizet මහතා, ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ දේශීය උපදේශක මුරුගයියා රාජසිංහම් මහතා, අපනයන සංවර්ධන මණ්ඩලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් එරන්දික දිසානායක මහතා, කෘෂි අපනයන අංශයේ අධ්‍යක්ෂ ජනක් බදුගම මහතා ,අපනයන සංවර්ධන මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීන් සහභාගි වූහ.
පසුගිය දශක තුන තුළ ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකාර්මික නිෂ්පාදන අපනයන අංශය සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර ඇත. ගෝලීය කාබනික වෙළෙඳපොළ තුළ විශ්වාසදායක අපනයනකරුවෙකු ලෙස ශ්‍රී ලංකාව ස්ථාපිත කර ඇති අතර සැලකිය යුතු විදේශ විනිමය ඉපැයිමක් ළගා කර ගෙන ඇත. වර්තමානය වන විට ගෝලීය කාබනික වෙළදපොල දළ වශයෙන් යුරෝ බිලියන 136.4ක් ලෙස තක්සේරු කර ඇත. ශ්‍රී ලංකාව කාබනික නිෂ්පාදන අපනයනයෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 0.5 කට වඩා උපයයි.
මෙම අංශය සහතික කළ කාබනික අපනයනකරුවන් 400 කට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත වන අතර, ශ්‍රී ලංකා කාබනික ප්‍රමිතිය, EU කාබනික, USDA කාබනික, JAS, Demeter සහ Naturland ඇතුළු ජාත්‍යන්තරව පිළිගත් කාබනික ප්‍රමිතීන් ගණනාවක් යටතේ ක්‍රියාත්මක වේ. මෙම සහතික කිරීම් එක්ව කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර 70,000 කට වැඩි ප්‍රමාණයක් ආවරණය කරන අතර, ගොවීන් 20,000 කට අධික සංඛ්‍යාවක් අපනයනකරුවන් සහ සැකසුම්කරුවන් හරහා ගොවි කණ්ඩායම්, කාබනික නිෂ්පාදකයින් ලෙස සහතික කර ඇත.
1979 අංක 40 දරන අපනයන සංවර්ධන පනතේ 29 වන වගන්තිය යටතේ ජූලි 11 දිනැති අංක 1870/71 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද රෙගුලාසිවලට අනුකූලව, අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) යටතේ ජාතික කාබනික පාලන ඒකකය (NOCU) ස්ථාපිත කර ඇත. ගෝලීය වෙළෙඳපොළ තුළ එහි විශ්වසනීයත්වය පවත්වා ගැනීම සඳහා රට තුළ කාබනික කෘෂිකර්මාන්තය නිසි ලෙස පාලනය කිරීම සහ අධීක්ෂණය කිරීම සහතික කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය ශ්‍රී ලංකාවේ කාබනික පාලන ආයතනය ලෙස සැලකේ.
කාබනික කෘෂිකර්මාන්තය සඳහා වන ගෝලීය වෙළෙඳපොළ අවශ්‍යතාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින අතර, පාර්ශවකරුවන් නව අභියෝගවලට නිරන්තරයෙන් මුහුණ දෙනු ලැබේ.ගෝලීය වෙළඳපොළ තුළ පවතින මෙම අභියෝගවලට මුහුණ දීමට, ජාත්‍යන්තර ජෛව ප්‍රමිතීන් සමඟ අන්‍යෝන්‍ය පිළිගැනීම (mutual recognition) ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා කාබනික ප්‍රමිතිය(SLS 1324:2018) සහ ශ්‍රී ලංකා කාබනික නියාමනය (Sri Lanka Organic Regulation) වැඩි දියුණු කිරීමේ වැදගත්කම EDB–NOCU විසින් හඳුනාගෙන ඇත.
ශ්‍රී ලංකා කාබනික ප්‍රමිතිය සහ නියමයන් වැඩිදියුණු කර ගැනීම සඳහා, ආරම්භක පියවරක් ලෙස බ්‍රිතාන්‍ය (GB) ජෛව නියමයන් සමඟ අන්‍යෝන්‍ය පිළිගැනීම ලබා ගැනීම අරමුණු කරගෙන, EDB–NOCU වෙත එක්සත් රාජධානී වෙළඳ හවුල්කාරිත්ව වැඩසටහන (UKTP) යටතේ තාක්ෂණික සහාය ලබාදී ඇත. මෙම ක්‍රියාවලිය මඟින් ඉදිරියේදී යුරෝපා සංගමය (EU) සහ අනෙකුත් වැදගත් වෙළඳ ගමනාන්ත වලින්ද ශ්‍රී ලංකා කාබනික ප්‍රමිතියට පිළිගැනීම ලබා ගැනීමට මඟ සැලසෙයි.
දැනට සංවර්ධනය වෙමින් පවතින සහ ශ්‍රී ලංකා කාබනික රෙගුලාසි ලෙස විධිමත් ලෙස ප්‍රකාශයට පත් කර නොමැති, පවතින නියාමන රාමුවට යෝජිත සංශෝධන පිළිබඳව සියලුම කාබනික අංශයේ කොටස්කරුවන් දැනුවත් කිරීම සඳහා මෙම වැඩමුළු මාලාව සංවිධානය කර ඇත.

Video Story