November, 4, 2015
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පවත්වා ගෙන යනු ලබන විශේෂ දත්ත ප්‍රචාරණ සම්මතයන් (Special Data Dissemination Standard - SDDS) සඳහා ශ්‍රී ලංකාව එක්කර ගනු ලැබීම ඊයේ සිදුවිය. මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාන්‍ය දත්ත ප්‍රචාරණ සම්මතයන්ගේ සිට මෙවැනි උසස් වීමක් ලද 15 වැනි රට බවට ශ්‍රී ලංකාව පත්වනු ඇත. එසේම ආසියානු ශාන්තිකර කලාපයේ, විශේෂ දත්ත ප්‍රචාරණ සම්මතයන් සඳහා එක්වූ 12 වැනි රට ලෙසින් ද ශ්‍රී ලංකාව පත් වී තිබේ.
‘‘ශ්‍රී ලංකාවේ නිල සංඛ්‍යාලේඛන පිළියෙල කිරීමේ ඉදිරි පියවරක් ලෙසින් මෙය හැඳින්විය හැකියි. එය දත්ත පරිශීලකයින් සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමක්. SDDS වෙත දායකත්වය ලබා දීම තුළින් දත්තවල විනිවිදභාවය මෙන්ම සංඛ්‍යා දත්ත සටහන් පිළියෙල කිරීමේ ජාත්‍යන්තර සම්මත වෙත ශ්‍රී ලංකාවේ යොමුව ලැබී තිබීම මෙහිදී ඉතා වැදගත් වෙනවා“, යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංඛ්‍යාන අංශයේ අධ්‍යක්ෂ ලොයිස් මාර්ක් ඩචර්ම් මහතා කියා සිටියේය.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකවේ සාර්ව ආර්ථික සංඛ්‍යාලේඛන ජාත්‍යන්තර තලයට ගෙන ඒම පිණිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අප කටයුතු කරමින් සිටිනවා. එහිදී SDDS වෙත දායකත්වය ලැබීම වැදගත් සංධිස්ථානයක්.“
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශේෂ දත්ත ප්‍රචාරණ සම්මතයන් හඳුන්වා දීම 1996 වසරේ දී සිදුවිය. එහි සාමාන්‍ය දත්ත ප්‍රචාරණ සම්මතයන් සඳහා ශ්‍රී ලංකාව එක් වූයේ 2000 ජූලි 14 වැනිදා සිටය.